‛‛වෙනදා ඇසූ මරණයන්ට වඩා අද හාත්පසින් ම වෙනස් විදිහට මරණය ගැන ඔයගොල්ලන්ට සිතන්නට වෙලා තිබෙනවා. වෙනදාට වඩා සිය දහස් ගුණයකින් මරණය, ඔයගොල්ලන්ට ජීවිත පාඩම කියා දෙන්නට ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මේ කාලයේ නිරන්තරයෙන් ඔබට මරණය සිහිවෙන කාලයක් බවට පත්වෙලා. මේ වගේ භයානක වසංගත කාලයක් මුළු ලෝකයේ ම පවතින කාලයක, මරණය දෙස එඩිතරව බලන්නට, ධර්මය තුල ආරක්ෂා වෙමින්, ධර්මය තුලින් මරණය දෙස බලන්නට, ඔයගොල්ලෝ මරණය ඉදිරියේ නැගී සිටින්නට, බුද්ධිමත්ව මරණය ගැන කල්පනා කරන්නට ඕනා. මේ වසංගතයට ගොදුරු නොවී ඔබ මරණයෙන් බේරී සිටියත්, ඔබට සැමදාම මරණයෙන් බේරී ජීවත්වන්ට ලැබෙන්නේ නැහැ. සැමදාම ජීවත්වෙන්නට සිතූ අයත්, අද මරණයෙන් බේරෙන්නට කටයුතු කරනවා. මරණය ගැන කිසිදා නොසිතූ අය, අද මරණයක් ගැන සිතනවා.’’

 

සූම් තාක්ෂණය ඔස්සේ 2021 ජූනි 19 වෙනි සෙනසුරාදා (ඊයේ) සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ බැතිමතුන් කණ්ඩායමක් සමගින් ජපමාලය උච්චාරණය කිරීමට සහභාගි වෙමිනුයි. විදේශීයව සිටින බැතිමතුන් ද සූම් තාක්ෂණය ඔස්සේ මෙම අවස්ථාවට සම්බන්ධව සිටි අතර ශ්‍රී ලංකාවේ බැතිමතුන් ද මෙම අවස්ථාවට තම නිවෙස්වල සිට සම්බන්ධවී සිටියහ.

 

කටුනායක අප ස්වාමිදූගේ ජීවමාන සංඥාවන් විහිදෙන අසිරිමත් ප්‍රතිමාව, අලංකාර මලින් සරසනු ලැබූ පුදසුනක් මත තැන්පත් කර තිබූ අතර ජපමාල උච්චාරණය සිදුකරනු ලැබුවේ ඒ ඉදිරිපිටයි. බැතිමතුන් විසින් පර්ත්‍යාග කර තිබූ දර්ශණ ඉටිපහන් දෙව් මවු ප්‍රතිමාව පාමුළ දල්වා තිබුණි.

 

ජපමාල උච්චාරණය අවසානයේ බැතිමතුන් වෙනුවෙන් දෙව් මවුන් වෙත විශේෂ යාච්ඤාවක් උච්චාරණය කරමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා සියල්ලන් වෙත දෙව් මවුන්ගේ රැකවරණය ප්‍රාර්ථනා කලහ.

 

යාච්ඤාවෙන් පසුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය බැතිමතුන්ව අමතමින් අවවාද රැසක් සමග මේ දුෂ්කර අවස්ථාවේ ඔවුන්ව දිරිමත් කරමින් දයාබරව අමතනු ලැබූහ.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ බැතිමතුන් අමතා කරනු ලැබූ සම්පූර්ණ කතාව මෙසේය.

 

මා ප්‍රියාදර දරුවෙනි, නැවත වරක් සූම් තාක්ෂණය ඔස්සේ ඔබව අමතන්නට සිදුවෙලා තිබෙනවා. දැනට සති කීපයක සිට, සතිපතා මම ඔබට මෙලෙසින් කතා කරමින් සිටිනවා. වෙනදා ඔයගොල්ලෝ මා ඉදිරිපිට වාඩි වී මට සවන් දී සිටියත්, අද ඔයගොල්ලෝ ඈත දුර සිට මට සවන් දෙනවා. වසංගතය විසින් මේ උදාකර ඇති තත්වය ඔයගොල්ලන්ට ආශිර්වාදයක් කරගන්නට උත්සහ කරන්න. මරණයට තැනක් වේලාවක් නැතිබව, මුලින් ම කලලයක් ලෙස මවු කුස තුල වැඩී, බිළිඳෙක් ලෙස ඉන් පිටතට ඇවිත්, කුමන මොහොතක හෝ මිනියක් බවට පත්වෙන බව මේ වසංගතය අපි කාටත් කියා දෙනවා පමණක් නොවෙයි පෙන්වා දෙනවා. මවු කුසය තුල කලලයක් ලෙස වැඩෙත් දී ම, මිනියක් බවට පත්වෙන අයුරු ද මේ වසංගතය අපිට පෙන්වා දෙනවා. මරණයෙන් පසු යන තැනකට යන්න, වැලලෙන තැන හෝ පිච්චෙන තැන සාධකයක් නොවන බව, වැලලෙන්න මිනී පිට්ටනිය තොරාගෙන, ඒවා වෙනුවෙන් මුදල් ගෙවාගෙන, සදාකාලිකවම මිනි පිට්ටනියක නිදාසිටිය හැකි යයි සිතූ, මා පුද්ගලීකව ම දන්නා සමහර කිතුණුවන්ට ඒවා ව්‍යාජ ප්‍රාර්ථනා සහ අදහස් බව, මේ වසංගතය ඔච්චම් කර කර පාඩම් උගන්වනවා. නමුත් පාඩම් මාලාව අවසන් නැහැ. පසුගිය අවුරුද්දේ මා ඔයගොල්ලන්ට පැවසූ ලෙසින් ම විවිධ මුහුණුවර ගනිමින් ඔයගොල්න්ට මේ වසංගතය උගන්වන්නේ ආගම නොව, ධර්මය යි. නිතරම මා ඔබට පැවසුවේත්, ඔබට පෙන්වා දී පුහුණු කලේත් ආගමක වහලෙක් නොවී, ධර්මය තුල නිදහසේ ජීවත් වෙන්නටයි. ඒ නිසා මොනවගේ ආර්ථික ප්‍රශ්ණ තිබුනත්, ඔයගොල්ලෝ මානසිකව ඇද නොවැටී සිටීම ගැන මම සතුටු වෙනවා.

 

ප්‍රිය දරුවෙනි, ඔයගොල්ලෝ ඔක්කෝමදෙනා ආරක්ෂිතව සිටින බව මට පෙනෙනවා. ඒ දසුන මට සැනසීමක්. වෙනදා වගේ එහෙ මෙහෙ ඇවිදින්න, රස්තියාදු ගහන්න අවස්ථාවක් නැතිකම පීඩනයක් කරගන්න එපා. මේ වසංගතයට ගොදුරුවෙලා, තනිවම සිතමින්, මාව මැරෙයිද, මාව මැරෙයිද කිය කියා සිතමින්, ලඟපාතක කවුරුවත් නැතුව, හුදකලාවේ කාලය ගත කරන්නට නොලැබුන අවස්ථාව ගැන සතුටු වෙන්න.

 

ඔබත් මමත් අපි කවුරුත් මේ ලෝකයේ කොතැනක ජීවත්වුනත් අපි මේ ජීවත්වෙන්නේ, ඉතාමත් භයානක කාලයක් තුලයි. අපි සෑම දෙනෙකුගේම මෙතෙක් ජීවිතයේ අත්දකින්නට නොලැබුන ඉතාමත් දරුණු වසංගතයක අත්දැකීම්, ඇත්තටම බියජනක අත්දැකීම්, අද අපි ලබමින් සිටිනවා. ඉතින් මේ වසංගත කාලය තුල නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙන දේ අපව බියට පත්කරමින් තිබෙනවා. මේවගේ කාලයක් තුල අප දයාබර නිර්මල කන්‍යමරියෝත්තමාවන් සම්මුඛයේ රැඳී සිටීම අපට වචනයෙන් පැවසිය නොහැකි සැනසීමක්. මරණය පිළිබඳව ඔයගොල්ලන්ට කවදත් අහන්න ලැබිලා තියෙනවා. මරණයක් සිදු වූ ගෙවල්වල ඔයගොල්ලෝ කාලය ගත කරලා තියෙනවා. ඇතැම් තැන්වල නිදි වර්ජිතව දින ගනන් ගත කරලා තියෙනවා. මල් වඩම් රැගෙන ගොස් මියගිය දේහයන් ලඟ තැන්පත් කරලා, අවසන් ගෞරවය දක්වලා තියෙනවා. මිනී පෙට්ටිය ඔසවාගෙන යන්නට, කර දීලා තියෙනවා. දේහය භූමදානය කලාට පස්සෙ පස් මිටක් දමා, මියගිය හිතවතාගෙන් හෝ මිතුරාගෙන් හෝ ඥාතියාගෙන් හෝ අම්මා තාත්තාගෙන් හෝ විටෙක තම දරුවාගෙන් හෝ සමුගෙන කඳුළු පිසදාගෙන තියෙනවා.

 

නමුත් ඒ වෙනදා ඇසූ මරණයන්ට වඩා අද හාත්පසින් ම වෙනස් විදිහට මරණය ගැන ඔයගොල්ලන්ට සිතන්නට වෙලා තිබෙනවා. වෙනදාට වඩා සිය දහස් ගුණයකින් මරණය, ඔයගොල්ලන්ට ජීවිත පාඩම කියා දෙන්නට ආරම්භ කරලා තිබෙනවා. ඒ නිසා මේ කාලයේ නිරන්තරයෙන් ඔබට මරණය සිහිවෙන කාලයක් බවට පත්වෙලා. මේ වගේ භයානක වසංගත කාලයක් මුළු ලෝකයේ ම පවතින කාලයක, මරණය දෙස එඩිතරව බලන්නට, ධර්මය තුල ආරක්ෂා වෙමින්, ධර්මය තුලින් මරණය දෙස බලන්නට, ඔයගොල්ලෝ මරණය ඉදිරියේ නැගී සිටින්නට, බුද්ධිමත්ව මරණය ගැන කල්පනා කරන්නට ඕනා. මේ වසංගතයට ගොදුරු නොවී ඔබ මරණයෙන් බේරී සිටියත්, ඔබට සැමදාම මරණයෙන් බේරී ජීවත්වන්ට ලැබෙන්නේ නැහැ. සැමදාම ජීවත්වෙන්නට සිතූ අයත්, අද මරණයෙන් බේරෙන්නට කටයුතු කරනවා. මරණය ගැන කිසිදා නොසිතූ අය, අද මරණයක් ගැන සිතනවා.

 

පැතිරෙමින් පවතින මේ මහා භයානක වසංගතය, එදා ආරම්භක කාලයට වඩා අද අපිට ඉතාමත් දරුණු ලෙස දැනෙනවා. හතර පැත්තෙන්ම අපිව වට කරලා තියෙන්නෙ. අපිට ගිහිල්ලා හැංගිලා බේරෙන්න තැනක් නැහැ. ඒ නිසා මෙතෙක් කරගත්ත පිං කටයුතු සිහිකරගෙන, ධර්මය තුල ජීවත් වන්න. ඔබ ඉන්න තැනකටම වෙලා ඔබේ ආරක්ෂාව ඔබම බලාගෙන පරෙස්සමින් ඉන්න. ඔයගොල්ලන්ට ප්‍රශ්ණ ඕනතරම් ඇති. මුළු ජීවිතය ම ප්‍රශ්ණයක් වෙලා ඇති. මේ කාලයේ නිරන්තරයෙන් ඔබට ඇසෙන්නේ මොනවද, ගුවන් විදුලියෙන්, රූපවාහිනියෙන් විතරක් නොවෙයි, දුරකතනයෙන් ඇතුමක් ගත්තත් ඔයගොල්ලන්ට ඇසෙන්නේ, මේ වසංගතයේ භායානකකමයි. හමුවෙන හැමෝම කියන්නෙත් ඒ ගැනම තමයි. කොහේවත් යන්න එපා, එළියටවත් බහින්න එපා, මුහුණු ආවරණ හරි විදිහට පළඳින්න, නිතර අත් සෝදන්න, විෂ බීජ නාශක දියර වර්ග භාවිතා කරන්න, පරතරය ඇතුව කෙනෙක් එක්ක ඈතින් ඉන්න. ඔයගොල්ලන්ට මේවා ඇහිලා ඇහිලා දැන් එපාවෙලත් ඇති.

 

සමහර විට ඔයගොල්ලන්ට මේවා ඇහෙනකොට කේන්ති එනවත් ඇති. එකම දේ දිගට දිගට ඇහෙනකොට විතරක් නෙමෙයි, මේ නිසා ඇතිවෙලා තියෙන ජීවිත ප්‍රශ්ණත් එක්ක තරහා යනවා නෙමෙයි, තරහා එනවත් ඇති. ගෙදර ඉඳලා කවුද කන්න බොන්න දෙන්නෙ? ගෙවල්වල දරුවො ඉන්නවා, ලෙඩ වෙච්ච අය ඉන්නවා, මහළු දෙමාපියන් ඉන්නවා, දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙලා, වේලක් ඇර වේලක්වත් කන්න විදිහක් නෑ, පොඩි දරුවො බඩගිනියි කියලා අක්‍ෂනවා. ඉතින් ප්‍රශ්ණ පිට ප්‍රශ්ණ ගොඩක් මැද්දෙ පණ විතරක්වත් රැකගන්න ඔයගොල්ලො විශාල උත්සහයක් ගන්නවා. නමුත් පෙනෙනතෙක් මානයක කිසිදු විකල්පක් නැහැ. හතර පැත්තෙන්ම වසංගතය අපව වට කරලා අවසානයි.

 

අත්‍යවශ්‍යම කටයුත්තකට, බෙහෙත් ටිකක් ගන්න, ආහාර ටිකක් ගන්න, ඔබ පාරට බැහැලා යන සෑම තැනකම, බස්එකේ, දුම්රියේ වෙන්න පුළුවන්, කඩේකට ගිය වෙලාවක දී වෙන්න පුළුවන්, කොහේහෝ තැනක දී හදිසියේවත් ඔබට මුණගැහෙන, ඔබ එක්ක හිනාවෙන, ඔබත් එක්ක කතා කරන, සෑම දෙනෙක්ම මේ වසංගතයේ රෝග වාහකයෙක් විය හැකි බව සලකලා, ඔබට පරෙස්සම් වෙන්නට වෙලයි තියෙන්නෙ, මොකද ඔබ නොදැනුවත්වම ඔහු රෝග වාහකයෙක් වෙන්නට පුළුවන්. සමහර වෙලාවට ඔයගොල්ලෝ හිතුවක්කාර විදිහට, ඕනදෙයක් වෙච්චාවෙ කියලා, එළියට ගිහිල්ලා ඔයගොල්ලෝ කරන කටයුතු, ඔයගොල්ලන්ගේ ම පවුල්වලට විනාශය අරගෙන එන පුද්ගලයා ඔබම බවට පත්වෙන්නත් පුළුවන්. ඒ නිසා පිංවන්ත දරුවෙනි, මේ වෙලාවෙ ධර්මය තුල ජීවත් වෙන්න, ගෙදරටමවෙලා ඉන්න නිසා, දිනපතා එකවරක්වත්, ගෙවීගිය කාලය තුල ඔබ සිදුකල සියළු පිං සහිත ක්‍රියාවන් සතුටින් සිහිපත් කරන්න. මේ වසංගතයේ ඉතා දරුණුම කාලය නොවෙයි, මේ, වසංගතයේ ඉතා දරුණුම කාලයක්, මේ අපිට උදාවෙලා තියෙන්නෙ. මගේ ඒ වාක්‍ය ඔබ තේරුම් ගන්නට ඕනා. තුන් වේලෙන් එක වේලක්හරි කාලා ධර්මය තුල ම ජීවත් වෙන්න.

 

ඔයගොල්ලන්ට, ආගම තුල නොව, ධර්මය තුල නිදහසේ ජීවත්වීම පසුගිය කාලෙ පුරාවට ම මම කියාදීලා තියෙනවා. පිනක් යයි සිතා ඔබ සිදුකල විවිධ ක්‍රියාවන් නොව, පිනක් සිදුවන ආකාරට, යමක් කල යුතු ආකාරය සහ කලහැකි ආකාරය මම ඔයගොල්ලන්ට උගන්වලා තියෙනවා. ඒ නිසාම පිං ආකරයක් වූ මෙම සිද්ධස්ථානය ගැන, අපොස්තුළුතුමා ගැන ඔබ වෙනත් අයට වඩා දැනගත්තා. දැන් ඔබ කල කී දේවල් සතුටින් සිහිපත් කිරීමට ඔයගොල්ලන්ට අවස්ථාව උදාවෙලා තියෙනවා.

 

ප්‍රියාදර දරුවෙනි, ඔයගොල්ලන්ට මතකද, මේ වසංගතය අප රටේ ආරම්භවෙලා මේ වෙනකොට අවුරුද්දකුත් මාස කීපයක් වෙනවා. ඒ ආරම්භක කාලයේ මාස ගණනක් ඇඳිරි නීතිය දාලා, සම්පූර්ණයෙන් ම රට වහලා තිබුණා. ඒ කාලෙත් ඔයගොල්ලො විශාල පීඩනයකින්, ආර්ථික ප්‍රශ්ණවලින් මිරිකිලා, මානසික පීඩාවන් දරාගෙන, පීඩනයෙන් යුතුව, නමුත් ධෛර්‍යයෙන් ජීවිතය රැකගත්තා. නමුත් ඒ කාලේ මේ වසංගතයට ගොදුරුවූවන් වාර්තා වුනේ කොතරම් අඩුවෙන් ද? අපේ රටේ විතරක් නොවෙයි, මුළු ලෝකයම දිහා බැළුවත්, මුළු ලෝකයෙන් ම වාර්තාවුනේ දවසකට ආසාදිතයන් ලක්ෂයක්, ලක්ෂ දෙකක් විතර. අද වෙනකොට කොච්චරක්නම් මේ වසංගතයට ගොදුරු වෙනවද? කොච්චරක්නම් ජීවිතයෙන් සමු ගන්නවාද? ලෝකය පුරාවට ලක්ෂ ගණන් අද වන විට වසංගතයට ගොදුරු වෙනවා. අපේ අසල්වැසි ඉන්දියාවෙන් මේ වෙනකොට දවසකට ලක්ෂ හතරකටත් වඩා වැඩි පිරිසක් මේ වසංගතයෙන් ආසාදිතයන් බවට පත්වෙනවා. ඉන්දියාවේ මුළු ජනගහනය කෝටි එකසිය තිස්නවයකටත් වැඩියි. අපේ රට, මේ ශ්‍රී ලංකාව කොච්චර පුංචි රටක්ද? මුළු ජනගහනය කෝටි දෙකකට ටිකක් වැඩියි. ඒ අතරින් දවසකට දෙදහස ඉක්මවලා මේ වසංගතයෙන් ආසාදිතයන් හමුවෙනවා. සමහර දවස්වලට සියය ඉක්මවා මරණ වාර්තා වෙනවා.

 

පිංවන්ත දරුවෙනි, හොඳට කල්පනා කරන්න. මේ වසංගතයෙන් අපිට බේරිලා ඉන්න තැනක්, මේ ලෝකයේ කොතනකින් අපිට සොයාගන්න පුළුවන්ද? අන්න අසවල් තැනට, අසවල් ප්‍රදේශයට, ගියොත් නම් බේරිලා ඉන්න පුළුවන් කියලා යාහැකි තැනක් අපිට තියෙනවද? කලින් වතාවෙ නම් ඔබට හිතෙන්න ඇති, කොළඹ, ගම්පහ දිස්ත්‍රික්කවල තමයි මේ වසංගතය තියෙන්නෙ. මේ දිස්ත්‍රික්කවල තමයි රෝගය බෝ වෙන්නෙ. ඒ නිසා කොහේහරි දුර පලාතක, ගමකට ගියොත් මේ රෝගයෙන් බේරිලා ඉන්නට පුළුවන් වෙයි කියලා ඔයගොල්ලන්ට හිතෙන්න ඇති. ඒ පළාත්වල මිනිස්සු නම් කරදරයක් බයක් නැතිව සන්තෝෂයෙන් ඇති අපිටත් යන්න ඇත්නම් කොතරම් හොඳද කියලා හිතෙන්න ඇති. නමුත් අද වෙනකොට රටේ සෑම දිස්ත්‍රික්කයක් ම, සෑම පලාතක් ම, සෑම නගරයක් ම, සෑම ගමක් ම රෝගීන් වාර්තාවෙන මට්ටමකට පත්වෙලා. අන්න ඒ නිසා මතක තබා ගන්න, අපි ඔක්කොම දෙනාව, මේ වසංගතය විසින් සෑම පැත්තකින් ම අපිව වටකරලා තියෙන්නෙ. මේ වෙලාවෙ ඔයගොල්ලෝ අකමැත්තෙන් වුනත්, ඔයගොල්ලන්ගේ ආරක්ෂාව විතරක් නොවෙයි, ඔයගොල්ලන්ගේ පවුල්වල, ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගේ, ඔයගොල්ලන්ගේ දරුවන්ගේ, වයෝවෘධ හිතවතුන්ගේ, මොන වයසේ වුනත්, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු ආබාධ, පිළිකා රෝග ආදී රෝගි තත්වයන්ගෙන් පසුවෙන ඔබේ ප්‍රීයයන් සියළුදෙනා ගැන ම හිතලා බුද්ධිමත්ව, ප්‍රවේශමෙන් සහ වගකීමක් ඇතුව කටයුතු කරන්න. ඔබ ඔබේ ආරක්ෂා විතරක් නෙමෙයි, ඔබ ඔබේ පවුලේ, ඔබේ දෙමවුපියෝ දරුවො, ඔබේ හිතෛයිශීන් ඔබේ ප්‍රීයයන් මේ සියළු දෙනා ගැනම හිතලා බුද්ධිමත්ව කටයුතු කලයුතු කාලයක්. හැඟීම්වලට වහල් නොවී බුද්ධියෙන් කටයුතු කල යුතු කාලයක්. මේ සියළු දෙනා ගැනම හිතලා බුද්ධිමත්ව කටයුතු කරන අතරේ, හැඟීම්වලට වහල් නොවී කටයුතු කරන්නටත් අමතක කරන්න එපා.

 

ප්‍රිය දරුවෙනි, සමහර විට ඔයගොල්ලන්ට හිතෙයි, අපි කවුරුත් මැරෙනවා, ඉපදිච්ච කෙනෙක් හැමදාම ඉන්නෙ නෑ. ඔයවගේ නොයෙක් දේවල් හිතෙන්න පුළුවන්. විශේෂයෙන් ගෙවල් ඇතුලට ම වෙලා ඉන්නකොට ඇතිවන මානසික පීඩනය නිසා එහෙම හිතෙන්නට පුළුවන්. මැරුනොත් මැරෙන්නෙ එක පාරයි, ඔන්න ඔහේ ඕන දෙයක් වෙච්චාවෙ, කියලා හිතෙන්නට පුළුවන්. තරහට, එකට එක හිතන, එකට එක කරන, මානසිකත්වය සාමාන්‍ය මනුෂ්‍යයන්ට ඇතිවෙනවා. මේක තමයි සාමාන්‍ය මනුෂ්‍ය මනසේ ස්වභාවය. නමුත් ඔබේ මනස ගැන කල්පනාකාරී වෙන්න. මේ වෙලාවෙ ඔයගොල්ලෝ හිතුවක්කාර විදිහට කටයුතු කරලා, ඔයගොල්ලන්ගේ හැසිරීම තුල ඔයගොල්ලෝ විතරක් නොවෙයි, ඔයගොල්ලන්ගේ පවුල්වල සියල්ලන්ගේ ම විනාශය රැගෙන එන කෙනෙක් බවට ඔබ හෝ ඔබ කිසිවෙක් පත්වෙන්නට එපා. ඔයගොල්ලන්ගේ පවුල්වල, ඔයගොල්ලන්ගේ දෙමව්පියන්ගේ, ඔයගොල්ලන්ගෙ දරුවන්ගේ, වයෝවෘධ හිතවතුන්ගේ, මොන වයසේ වුනත්, දියවැඩියාව, හෘද රෝග, වකුගඩු ආබාධ, පිළිකා රෝග ආදී රෝගි තත්වයන්ගෙන් පසුවෙන ඔබේ ප්‍රීයයන් සියළුදෙනා ම ඔබ නිසා වසංගත මරණයට බිල්ලක් වන අනතුර අරගෙන එන පුද්ගලයා බවට ඔබ කිසිවෙක් පත්වෙන්නට එපා. ඒ නිසා ඔයගොල්ලෝ ඔක්කොම දෙනා තනි තනියෙන් ඔබේ ආරක්ෂාව පමණක් නොවෙයි, ඔබ ඔබේ හිතෛයිෂීන්, ඔබේ ඥාතීන් ඔබේ අසල්වැසියන් මේ සෑමදෙනා ගැනම හිතලා බුද්ධිමත්ව කටයුතු කරන්න.

 

ඉතින් අවසානකොට ඔයගොල්ලො ඔක්කොමදෙනා, පරෙස්සමින් ඉන්න, සියළු කටයුතු පරෙස්සමින් කරන්න. මේ වසංගතයෙන් පමණක් නොවෙයි, වෙනත් කිසිදු අකාරයක සුළු හෝ අසනීප තත්වයක් ඇති නොවන පිළිවෙලට පරෙස්සම් වෙන්න. සෞඛ්‍යය යහපත්ව තබාගන්න, මොකද කියනවානම් කිසිදු හදිසියක දී රෝහලකට ගොස් කටයුතු කර ගැනීම, මේ උදාවී ඇති තත්වය නිසා දුෂ්කර බැවිනුයි.

 

ඔයගොල්ලො සියළු දෙනාටම බොහෝම ස්තූතියි.

 

සූම් තාක්ෂණය ඔස්සේ තම බැතිමතුන් ඇමතා කතා කරන්නට පෙර ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඔවුන් සමග දෙව් මවුන්ට ජපමාලය පුද කරනු ලැබූ අතර, එම අවස්ථාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ විශේෂ පුදසුනක් මත, කටුනායක අප ස්වාමිදූගේ ජීවමාන සංඥාවන් විහිදෙන අසිරිමත් ප්‍රතිමාව තැන්පත් කර තිබූ අයුරු පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි