ජාඇල රංග ප්‍රසාද් පෙරේරා සහ සදුනි දිලීකා පෙරේරා 2020 අගෝස්තු 6 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ව සමු වූයේ ඔවුන්ගේ කුළුදුල් දරුවා ද සමගිනි. එදින ඔවුන්ගේ ප්‍රධාන අපේක්ෂාව වී තිබුනේ තම බිළිදු පුතුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට පෙන්වීමයි, සහ උන්වහන්සේගේ ආශිර්වාදය තම පුතුට ලබා දීමයි.

 

රංග සහ සදුනි විවාහ දිවියට ඇතුල් වූයේ 2019 ජනවාරි 17 වන දින වන අතර, ඔවුන්ගේ විවාහය සිදුවූයේ ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදයෙනි. මේ යුවල මාපියන් බවට පත්කරමින් ඔවුන් අතරට පැමිණි කුළුදුල් දරුවා උපත ලැබුවේ 2020 වසරේ මාර්තු 21 වෙනි දින වන අතර, නිර්මිත් මෙත්සර නම් වූ මේ කුඩා පුතුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට පෙන්වීම මේ නව දෙමාපිය යුවලගේ ලොකුම ආශාව විය. එහෙත් එම කාලයේ දී කොරෝනා වසංගත තත්වය හේතුවෙන්, ශ්‍රී ලංකාව පුරා ඇදිරි නීතිය පනවා තිබීමත්, සෞබ්‍යාරක්ෂාව පිණිස පිළිපැදිය යුතු නීතීන් නිසාත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතට තම බිළිදු පුතු රැගෙන ඒමට අවස්ථාවක් නොවීය.

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නිර්මිත් මෙත්සර කුඩා බිළිදාව සිය දෝතට ගෙන සිටින අතර දෙපසින් සිටින්නේ දරුවාගේ දෙමාපියන් වන රංග ප්‍රසාද් පෙරේරා මහතා සහ සදුනි දිලීකා පෙරේරා මහත්මියයි

 

සියල්ල යහපත් තත්වයට පත්වී නිර්මිත් මෙත්සර කුඩා පුතුවත් රැගෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත පැමිණීමට මේ නවක දෙමාපියන් වූ රංග සහ සදුනි යුවලට දිනය ලැබුනේ 2020 අගෝස්තු 6 වෙනි දිනයි.

 

එදින තම බිළිදු පුතණුවන් ද සමගින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් හමුවට පැමිණි මේ නවක දෙමාපිය යුවල, අපොස්තලික ශාලාවේ දී, මහත් ආදරයෙන් පිළිගත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මවගේ තුරුලේ සිටි කුඩා බිළිදාව තම දෝතට ගනු ලැබුවේ, අපොස්තලික පිය සෙනෙහස ද සමගිනි. බිළිදා දෙස හොදින් බලා සිටි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, දරුවාව මවගේ අතට භාර දී මේ දෙමාපිය යුවලට වාඩිවන්නට කියනු ලැබූ සේක.

 

‛‛රංග, සදුනි ඔබ දෙදෙනා දන්නවාද මේ දරුවා කවුද කියලා?’’ ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ ප්‍රථම ප්‍රශ්ණය නවක දෙමාපිය දෙදෙනාට යොමු වූ අවස්ථාව

 

අනතුරුව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා වදාරනු ලැබූ දෙයින් රංග සහ සදුනි දෙමාපියන් විස්මයට පත් විය.

 

‛‛රංග, සදුනි ඔබ දෙදෙනා දන්නවාද මේ දරුවා කවුද කියලා?’’ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රථම ප්‍රශ්ණය විය. ‛‛නෑ පියාණෙනි, අපි දන්නෙ නෑ’’ දෙමාපිය දෙදෙනා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් දෙස බලා සිටියේ, ඊළගට උන්වහන්සේ කුමක් කියන්නට යන්නේ දැ යි මහත් කුතුහලයෙනි.

 

‛‛රංගටත් සදුනිටත් මේ දරුවාව ලැබුන තුන්වන අවස්ථාවයි මේ. සදුනි මේ දරුවාව දුටුව තුන්වන අවස්ථාව මෙය වුනත්, රංග මේ දරුවාව දුටු පළමු අවස්ථාවයි මේ.’’ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මේ ප්‍රකාශයත් සමගින් දෙදෙනාම විස්මයට පත්විය. ඔවුන් ගල් ගැසුනාක් මෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් දෙස බලා සිටි අතර, රංග දැඩි කල්පනාවකට බර විය.

 

නිර්මිත් මෙත්සර කුඩා බිළිදු පුතුට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ආශිර්වාදය

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දෙදෙනාටම ඉතා කරුණාවෙන් පවසු ලැබුවේ, මේ පිළිබදව කල්පනා නොකරන ලෙසත්, ඉදිරි දිනයක දී සියල්ල මුල සිට අගට ම පවසන බවත්ය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා යමෙකුගේ පෙර ජීවිතයන් පිළිබදව හෙලි කිරීමේ සුවිශේෂී ඥාණයක් හිමි අධාත්මික නායකයෙක් වන අතර උන්වහන්සේගේ මේ සුවිශේෂී හැකියාව පිළිබදව, අපවත් වී වදාල අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත, අභිධජ මහා රට්ඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් මහත්සේ පැහැදී සිටියහ. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ජාතිස්මරණ ඥානය (එනම් පෙර ජීවිතයන් පිළිබඳව දැන ගැනීමේ අධ්‍යාත්මික බලය හෙවත් ඥාණය) හිමි අපොස්තුළුතුමෙකු බව අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් සිය අත්අකුරින් ම ලියා අත්සන ද යොදා සිය අභිධජ මහා රට්ඨ ගුරු නිල මුද්‍රාව ද ඊට යොදා සහතික කර ඇත්තේ 1997 ඔක්තෝම්බර් 4 වෙනි දිනය.

 

තවද යමෙකුගේ මරණය සහ යළි උපතක් ගැනීම පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දේශණයකට සවන් දුන් අති පූජ්‍ය බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය මහා නායක මාහිමිපාණන් ඉන් කොතරම් ප්‍රසාදයකට පත්වී ද යත්, උන්වහන්සේගේ අත්අකුරින් ම මෙලෙස ලියා සිය අත්සන යොදා ඇත. ‛‛අති ගෞරවනීය ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා විසින් පවත්වන ලද, කර්මය සහ පුනර්භවය පිළිබඳව වූ දේශනය මම ඇසුවෙමි. මෙම ගෞරවනීය පියතුමා, ඬඬමනොකායඬඬ මාර්ගයෙන් ඉහළ ලෝකවල (උදාහරණය: ඉහළ දිව්‍යමය ලෝකවල) සංචාරය කළ බව මම දැන ගතිමි. එය ඉතා වැදගත් විස්තරයකි. එතුමා ඉහළ ලෝකවල සිදුකරණු ලබන සංචාර පිළිබඳ වැඩිදුර අත්දැකීම් අසා දැනගැනීමට මම බලාපොරොත්තුවෙන් සිටිමි.’’ ඒ 1994 පෙබ්‍රවාරි 8 වෙනි දිනයි.

 

මේ සම්බන්ධව ග්‍රන්ථයක් ද පලවී ඇති අතර, මේ සියළු කරුණු කාරණා දන්නා රංග ප්‍රසාද් සහ සදුනි දිලීකා නවක දෙමාපිය යුවල, සිය කුළුදුල් පුත් නිර්මිත් මෙත්සර පිළිබදව ඔවුන්ට නොවැටහෙන, එහෙත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට වැටහෙන බොහෝ දේ උන්වහන්සේගෙන් දැනගැනීමට අවස්ථාව උදාවනතුරු බලා සිටින්නේ නොඉවසිල්ලෙනි.

 

රංග ප්‍රසාද් පෙරේරා මහතා සහ සදුනි දිලීකා පෙරේරා මාපිය යුවල සිය කුළුදුල් බිළිදු පුත් නිරිමිත් මෙත්සර සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව සමු වූ අවස්ථාව හා සැබැදි ඡායාරූප කීපයක් ඔබට මෙහි දැකගත හැකියි

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

2020 අගෝස්තු 6 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ව බැහැදැකීමෙන් පසුව රංග ප්‍රසාද් පෙරේරා මහතා සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබූ සටහන පහතින් කියවන්න.

 

මේ දරුවා ඔබ දෙදෙනාගේ සසර ගමන තුළ මීට පෙර දෙවරක් හමු වී ඇත

 

මීට ඉහත පෙර භවයන් දෙකකදී ම මේ දරුවා මගේම දරුවා ලෙස ඉපදුනත් කිසිම දිනක ඔහුව මා නොදැක්කේ ඇයි?

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ආශිර්වාදයෙන් අපගේ පවුලට අළුත උපන් දරුවා රැගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට 2020 අගෝස්තු 6 වෙනි දින ප්‍රථම වරට අප ගිය ගමන, ඇත්තෙන්ම සුවිශේෂී අවස්ථාවක් විය. මන්ද එහිදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ව හමුවීමට අපට සුවිශේෂී අවස්ථාවක් හිමි වූ අතර එහිදී ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් සමග කෙටි පිළිසදරක යෙදීමට ඉතා වටිනා අවස්ථාවක් අපට උදාවිය. ඒ අවස්ථාවේදී ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් දරුවාව උන්වහන්සේගේ දෝතට ටික වේලාවකට වඩවාගෙන, නැවතත් අපට භාර දුන් පසු උන්වහන්සේ පැවසූ වදන් වලින් අප දෙදෙනා පුදුමයෙන් පුදුමයට පත් විය. එහිදී උන්වහන්සේ විසින් අපගෙන් අසා සිටියේ ‛‛මේ දරුවා කවුරු දැ යි ඔය ගොල්ලො දන්නවාද කියාය. තරමක් විමතියට පත් වූ අප දෙදෙනා ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් දෙස මහත් වූ කුතුහලයකින් බලමින් උන්වහන්සේට පවසා සිටියේ ඒ ගැන අප කිසිවක් නොදන්නා බවයි. පෙර භවයන් මෙනෙහි කිරීමේ උතුම් අධ්‍යාත්මික හැකියාවක් ඇති මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් හට කෙනෙකුව දුටු පමණින් ඔහුගේ පෙර භවයන් ගැන විස්තර ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇති බව නොරහසකි. අපවත් වී වදාළ අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත අභිධජ මහා රඨීඨ ගුරු බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය නාහිමිපාණන් වහන්සේ පවා උන්වහන්සේගේම අත් අකුරින්, මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් තුල ඇති, කෙනකුගේ පෙර භවයන් මෙනෙහි කිරීමේ හැකියාව ගැන මෙන්ම මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ මහත් වූ අධ්‍යාත්මික දියුණුව ගැන ද බොහෝ දේ පවසා ඇත. එබැවින් අප දෙදෙනාම මේ දරුවා කවුරුන්දැයි යන වග ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගෙන් විමසා සිටියේ මහත්වූ කුතුහලයක් සමගිනි. ඒ අවස්ථාවේදී උන්වහන්සේ විසින් අප හට ප්‍රකාශ කළේ, මේ දරුවා අප දෙදෙනා අතරට පැමිණියේ පළමුවරට නොවන බවයි. එනම් මගේ බිරිදටත්, මටත් මේ දරුවා මීට ඉහත පෙර භවයන් දෙකකදී අපගේ දරුවා ලෙස හමුවී ඇති බවයි. එහෙත් තවදුරටත් උන් වහන්සේ ප්‍රකාශ කර සිටියේ ඉතාමත්ම පුදුමාකාර කතාවකි. එනම්, මේ දරුවා මාගේ බිරිදට ඇයගේ දරුවා ලෙස මීට පෙර භවයන් දෙකේදීම හමුවී, ඇය විසින් දරුවාව දුටු නමුත් මගේ දරුවා ලෙස හමුවූ ඒ පෙර භවයන් දෙකේදීම මා මේ දරුවාව කිසිම අවස්ථාවක නොදැක තිබූ බවයි. උන්වහන්සේගේ මේ පුදුමාකාර ප්‍රකාශය නිසා මමත් මගේ බිරිදත් ඒ අවස්ථාවේදී තරමක් දුරට පුදුමයෙන් පුදුමයට පත්ව මොහොතකට නිහඩව උන්වහන්සේ දෙස බලා සිටියේ මේ කතාවේ අගක් මුලක් වටහා ගත නොහැකි වූ බැවිනි. එහිදී ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් අප හට ප්‍රකාශ කර සිටියේ මේ පුනරුප්පත්තිය පිළිබද ඒ කතාව ඉතාමත් නොදුරු යම් දිනයකදී අපට පැහැදිලි කරදෙන බවටයි. ඇත්තෙන්ම ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින් පැවසූ මේ අරුම පුදුම පුනරුප්පත්ති කතාවේ සම්පූර්ණ කතාව අසා දැනගැනීමට අප දෙදෙනා පසුවන්නේ ඉතාමත් කුතුහලයෙනි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් යනු මේ ලෝකයට පහළ වූ ඉතාමත්ම බලසම්පන්න වූ උතුම් අධ්‍යාත්මික නායකයෙකි. උන්වහන්සේ මෙලොව වැඩ වසන අපොස්තුළු තුමෙකි. මහා දිව්‍යමය ශක්තියක් හා අධ්‍යාත්මික ඥානයක් හිමි මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් ජාතිස්මරණ ඥානය හෙවත් කෙනකුගේ පෙර භවයන් මෙනෙහි කිරීමේ සහ කර්මයට අනුව පුනරුප්පත්තියක් ලබන ආකාරය තම අධ්‍යාත්මික ඥානයෙන් විනිවිද දැකීමේ හැකියාවක් ඇති මහා බලසම්පන්න උත්තමයෙකි. මම මාගේ බිරිදත් සමඟ විවාහ ජීවිතය ආරම්භ කිරීම සඳහා ආශිර්වාදය ලබා ගත්තේ ද මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දෝතිනි. අප දෙදෙනා විවාහ වී ටික කලක් ගතවන විට වරක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් අප දෙදෙනා හමුවී ප්‍රකාශ කර සිටියේ ඉක්මනින්ම පින්වන්ත දරු උපතක් ගැන අප දෙදෙනාට දැන ගන්නට ලැබෙන බවයි. දිනක් ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී මා හට හමුවූ විට උන්වහන්සේ හදිසියේම මා පුදුම කරවන යමක් පැවසීය. එනම් උන්වහන්සේ මාගෙන් විමසා සිටියේ ‛‛ඔබට විශේෂ යමක් බිරිඳ පැවසුවාද’’ කියාය. උන්වහන්සේ පවසන්නේ කුමක් ගැනද කියා මට වටහා ගැනීමට එතරම් කාලයක් ගත නොවීය. උන්වහන්සේට මා පවසා සිටියේ ‛‛මොකුත් කිව්වේ නැහැ’’ යනුවෙනුයි. එහිදී උන් වහන්සේ මා හට සිනහමුසු මුහුණින් පවසා සිටියේ, එහෙනම් ඉක්මනටම දැන ගන්න ලැබෙයි යනුවෙනි. උන් වහන්සේ විසින් එසේ පැවසූවේ, මගේ බිරිද දරුවෙකු පිළිසිද ඇති බව යයි ස්ථීර ලෙස මා ඒ අවස්ථාවේ වටහා ගත්තෙමි.

 

තරමක් කුතුහලයක් සමගින් එදින මා නිවස බලා පිටත් වන විට රාත්‍රී 11.30 පමණ වී තබිණි. නිවසට ඇතුල් වන විට බිරිද නිදාගෙන සිටියාය. ඇය අමාරුවෙන් නැගිට මා හට පැවසුවේ ඇයගේ කුසයට මහා අමුත්තක් දැනෙන බවයි. ඒ අවස්ථාවේදී මට සිහි වූයේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් මා හට පැවසූ වචනයි. දින කිහිපයකට පසු වෛද්‍යවරුන් විසින් පැවසූයේ මාගේ බිරිද දරුවෙක් පිළිසිද ගෙන ඇති බවයි. මේ හැමදේම ලැබුණේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ගේ දිව්‍යමය ආශිර්වාදය නිසයි. මෙලොව සිදුවන කිසිම දෙයක් අහම්බෙන් සිදුවන දෙයක් නොවෙයි, අපට හමුවන සෑම කෙනෙක්ම අහඹු හමු වීමක් නොවෙයි.

 

ඇත්තෙන්ම අපගේ සසර ගමන තුළ නැවත වරක් මේ දරුවා අපගේ ජීවිත අතරට පැමිණ තිබේ. මේ සසර ගමන තුළ පුදුම අන්දමින් අපගේ හමු වීම කුමක්ද? මීට ඉහත පෙර භවයන් දෙකකදී ම මේ දරුවා මගේම දරුවා ලෙස ඉපදුනත් කිසිම දිනක ඔහුව මා නොදැක්කේ ඇයි? මේ භවයේදි නැවතත් තුන් වන වරට, ඔහු අපගේ දරුවා ලෙස ඉපදුනේ ඇයි? මේ බව ජාතිස්මරණ ඥානය හෙවත් කෙනෙකුගේ පෙර භවයන් මෙනෙහි කිරීමේ අධ්‍යාත්මික ඥානයක් හිමි අද මේ ලොව වැඩ වසන උතුම් ආධ්‍යාත්මික ගුරුවරයකු වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගෙන් අප දෙදෙනාම අසා දැනගැනීමට ඉතාමත්ම ආශාවකින් පසු වන්නෙමු.