අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා

 

අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය මෑණියන් වෙත පුද දෙනු ලබන අභිනව දර්ශණ දෙව්මැදුර පමණක් නොව, ඊට සමගාමීව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සිදුකරනු ලැබූ යෝධ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් පූර්ණ විශ්වාසය තබා භාරදෙනු ලැබුවේ අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා වෙතයි.

 

ඒ මහතා ගෘහ නිර්මාණ ශිල්පියෙක් නොවේ. තොරතුරු තාක්ෂණය පිළිබද ඉතා උසස් අධ්‍යාපනයක් ලැබූවෙකි. එහෙත් ඔහුගේ සහජ දක්ෂතාවයන් හදුනාගෙන සිටි අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මේ දැවැන්ත මෙහෙයුමේ සම්පූර්ණ වගකීම පවරනු ලැබුවේ ඒ මහතාටයි.

 

කොළඹ, සාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවකු වන මනෝජ් චින්තක මහතා, එහි අධ්‍යාපන කටයුතු අවසන් කර, නවසීලන්තය බලා පිටත්ව ගියේ තොරතුරු තාක්ෂණය පිළිබදව උසස් අධ්‍යාපන කටයුතු සදහායි. එම අධ්‍යාපන කටයුතු නිමවා, 2007 ජූනි 15 වෙනි දින ශ්‍රී ලංකාවට පැමිණ, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක ලෙස වැඩ භාර ගත් ඒ මහතාගේ දක්ෂතාවයන් මැනවින් හදුනාගත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අභිනව දර්ශණ දේව මන්දීරය ගොඩනැංවීමේ කටයුතු මෙහෙයවීම ඒ මහතාට භාර දුන් අතර, ඒ මහතාගේ උසස් පරිඝනක හැකියාවන් ඔස්සේ මේ මහා ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම සැලසුම් කරනු ලැබුවේ ඒ මහතා විසිනුයි.

 

පසුගිය දිනක කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ පවත්වනු ලැබූ, ‛මරිය ගී හක්‍ෂ’ ගීත සරණියේ දී, ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්ය වාදක කණ්ඩායමේ උපහාර ගී මැද, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ‛‛අපොස්තලික පිය ගෞරව උපහාර සම්මානය’’ මනෝජ් චින්තක අධ්‍යක්ෂක මහතා වෙත ප්‍රධානය කරන ලදී.

 

පසුගිය දිනයක, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට අයත් බැතිමතුන් පිරිසක් අමතන අවස්ථාවේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, මනෝජ් චින්තක අධ්‍යක්ෂක මහතා කැපවීමෙන් කල සේවය අගය කරමින් ප්‍රකාශ කරනු ලැබුවේ, අවුරුදු හයක් වැනි කෙටි කාලයකදී, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ කර ඇති මහා ප්‍රතිසංස්කරණ කටයුතු ගැන අවබෝධ වන්නේ, ඊට පෙර මෙම සිද්ධස්ථානයට පැමිණ ඇති කෙනෙකුට, මෙම සිද්ධස්ථානය සංවර්ධනය කර ඇති දර්ශණීය පෙණුම දැන් දකින විට දී බවයි. ඔහු මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය උඩු යටිකුරු කර, මේ දර්ශණ දේව මන්දීරය සම්පූර්ණ කර, දෙව් මවුන්ගේ ඉල්ලීම සම්පූර්ණ කිරීමට ම උපන් අයෙක් දැ යි විටෙක මට සිතෙනවා යයි පැවසූ උන්වහන්සේ, සෑම කාර්‍යයකදීම අගනා නිමාවක් දැකීමට කැමති ඔහුගේ වැඩ පිළිවෙල කලාත්මකයි, විශිෂ්ඨයි යනුවෙන් ද ප්‍රකාශ කල සේක.

 

තවදුරටත් බැතිමතුන් පිරිස අමතමින් කතා කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මෙම සිද්ධස්ථාන සංවර්ධන කටයුතු මෙහෙයවීමේ දී විවිධ අංශ භාර සේවකයන් ඔහුගේ හඬින් ද, පෙළගස්වනු ලැබූ වචන මාලාවෙන් ද, සිනා ස්වභාවයෙන් ද ඔහු ප්‍රබලව කටයුතු මෙහෙයවනු ලැබූ බවත්, යම් වැඩක් කරන විට බාධක, වෙනත් අදහස්, තුති පැසසුම්, ගල් මුල් මේ සියල්ලක් ඉදිරිපත් වීම ස්වභාවයක් නමුත් ඒ සියල්ල මැනවින් තේරුම් ගෙන තම වැඩෙහි නියුක්ත වූ ආකාරය හරිම අපූරු යයි ද පැවසූ සේක.