ජාති, ආගම් ආදී කිසිදු භේදයකින් තොරව ජන හදවත් දිනාගත් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා නව වසරේ ප්‍රථම සන්ධ්‍යා නුවාන මෙහෙය ජනවාරි 11 වෙනි සෙනසුරාදා සවස 4 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ වනු ඇත.

 

‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් යුතුව සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’ යනුවෙන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වෙමින් පැවසූ කන්‍ය මරිය තුමී, මෙම සන්ධ්‍යා නුවාන මෙහෙයට දැඩි කැමැත්තක් දක්වනු ලැබුවා පමණක් නොව, ඊට භක්තියෙන් සහ විශ්වාසයෙන් සහභාගි වන්නන්ට බොහෝ පුදුමාකාර පිහිට වරප්‍රසාදයන් ද දානය කරනු ලැබුවාය. නිර්මල කන්‍ය මරිය මවු තුමිය දර්ශණය වූ ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දේව මෙහෙයන්ට සහභාගි වන්නාවූ සැදැහැවතුන්ට මේ සම්බන්ධව අත්දැකීම් රාශියක් ඇත.

 

මෙම වරප්‍රසාදිත අත්දැකීම් අතරට, තවත් වරප්‍රසාදීත අත්දැකීම් එක්කර ගන්නට ඉඩ සලසා දෙමින් නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන, කටුනායක අප ස්වාමිදූට ගෞරවය සහ මහිමය සඳහා සන්ධ්‍යා නුවානය නව වසරේ ප්‍රථම වරට පැවැත්වෙන්නේ, තිස් නව වසරක් ජනතාව වෙනුවෙන්, දෙව් මවුන් ඉදිරියේ මැදිහත්වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි.

 

නිර්මල කන්‍ය මරියෝත්තමාවන් මහත් හාස්කම්පාන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ලබන සෙනසුරාදා (ජනවාරි 11 වෙනිදා) පැවැත්වෙන සන්ධ්‍යා නුවාන මෙහෙයේ දී දිව්‍ය සත්ප්‍රසාදීය ජේසු තුමන්ගේ ආශිර්වාදය දානය කිරීම සහ රෝගීන් ආසිරි ගැන්වීම සිදු කෙරෙනු ඇත.