ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ 61 වන ජන්ම දිනය යෙදුනේ පෙබ්‍රවාරි 2 වෙනි සිකුරාදා දිනයටයි. එම දිනය උන්වහන්සේ නිහඩව සහ විවේකීව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගත කරනු ලැබීමට තීරණය කල සේක.

 

එහෙත් පසුදින වූ පෙබ්‍රවාරි 3 වෙනි සෙනසුරාදා සවස 6 ට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් ජපමාලය සහ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමට නියමිතව තිබූ අතර, එදින ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත උපන් දින සුභ පැතුම් පුද කිරීම සදහා උන්වහන්සේට හිතවත් බැතිමතුන් කල්වේලා ඇතිවම සැලසුම් කර තිබුණි.

 

ඒ අනුව පෙබ්‍රවාරි 3 වෙනි දින සවස 6 ට ජපමාලය සහ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සදහා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන වෙත පැමිණි සැනින්ම ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙත උපන් දින සුභ පැතුම් පුද කිරීමේ සැලසුම ක්‍රියාත්මක කෙරුණි.

 

ප්‍රථමයෙන්ම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියට පැමිණි, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන පාලක කමිටුවේ සුරේන් චතුරංග මහතා සිද්ධස්ථානයට අයත් සියළු බැතිමතුන් වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 61 වන උපන් දිනයට සුභ පැතුම් එක් කරමින් කතා කරන්නට විය.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙනි, මෙලොව මෙම ජීවිත ගමනේ වසර හැට එකක් සම්පූර්ණ කර, හැට දෙවන, නව වසර ඔබවහන්සේ ආරම්භ කරනු ලැබුවේ ඊයේයි. ඔබවහන්සේගේ ජීවිතයට උදාවූ නව වර්ෂය නිදුක් නිරෝගී නව වර්ෂයක් වේවා යි අපි, ඒ කියන්නේ ඔබවහන්සේට ආදරැති සැවොම ප්‍රාර්ථනා කරනවා යි සිය කතාව ආරම්භයේ දී ම සුරේන් චතුරංග මහතා සදහන් කලේය.

 

තව දුරටත් කතා කරමින්, ‛‛ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙනි. ඔබවහන්සේගේ ජීවිතයට පෙබ්‍රවාරි මාසය සුවිශේෂී මාසයක්. ඒ, ඔබවහන්සේ පෙබ්‍රවාරි මාසයේ ඉපදුන නිසා ම නොවෙයි. මේ වන විට විසිතුන් වතාවක් ඔබවහන්සේ ඉදිරියේ දර්ශණය වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ, ප්‍රථම වරට ඔබවහන්සේ ඉදිරියේ දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි පස්වෙනි දිනයි. මේ අනුව නිර්මල මරිය මාතාවෝ ප්‍රථම වරට දර්ශණය වී වසර හතලිස් තුනක් සම්පූර්ණ වන්නේ පෙබ්‍රවාරි පස්වෙනි දිනටයි. එපමණක් ද නොවෙයි, අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දර්ශණය වී සිය දෙවන අපොස්තුළුතුමන් හෙවත් උන්වහන්සේගේ අපොස්තුළුවරු කණ්ඩායමේ දස සතර වෙනි අපොස්තුළුතුමන් වශයෙන් ඔබවහන්සේව පත්කිරීම සඳහා මෙම සිද්ධස්ථානයේ දී දර්ශණය වූයේ 1975 පෙබ්‍රවාරි 7 වෙනි දිනයි. මේ අනුව ශුද්ධෝත්තම අපොස්තුළු තුමෙනි, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම ලද අපොස්තුළුවරයට ද වසර හතලිස් තුනක් සම්පූර්ණ වන්නේ පෙබ්‍රවාරි 7 වෙනි දිනටයි. මේ සියළුම සිදුවීම් සමරා ඔබවහන්සේගේ ආදර බැතැමතුන් පිරිස මහත් ආනන්දයට පත්වී සිටිනවා’’ යි පැවසූ සුරේන් චතුරංග මහතා සිය සම්පූර්ණ කතාව අවසන් කරනු ලැබුවේ මෙවැනි හැගුම්බර වැකියකිනි, ‛‛ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙනි, අපි ඔබවහන්සේට ආදරෙයි, ඇත්තටම අපි ඔබවහන්සේට ගොඩක් ආදරෙයි.’’

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන පාලක කමිටුවේ සුරේන් චතුරංග මහතා සිද්ධස්ථානයට අයත් සියළු බැතිමතුන් වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ 61 වන උපන් දිනයට සුභ පැතුම් එක් කරමින් කතා කරනු ලැබූ අවස්ථාවයි මේ. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා දැඩි අවධානයෙන් ඊට සවන් දෙන සේක.