අද ලොව එකම ජීවමාන අපොස්තුළුතුමාණන් වන, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ පියාණන් වන, ජී. සී. අපොන්සු මැතිතුමාගේ 47 වන අනුස්මරණ දිනය (අද) ජූලි 4 වෙනි දිනයට යෙදී ඇත. විශාල ව්‍යාපාර රැසකට හිමිකම් කිවූ, කටුනායක ප්‍රදේශයේ ජීවත් වූ ව්‍යාපාරිකයෙක් වන ජී. සී. අපොන්සු මැතිතුමා විශාල ධනයක් හිමි ධනවත් පුද්ගලයෙකු මෙන්ම පිරිසිදු සහ ත්‍යාගිශීලී හදවතක් ඇති, ධර්මානුකූලව ජීවත් වූ බෞද්ධ බැතිමතෙකි.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ පියාණන් පිළිබදව උන්වහන්සේ යම් යම් අවස්ථා වලදී විවිධ වූ විශේෂ විස්තර පවසා තිබේ. ඒ අතරිනුත් සුවිශේෂී කරුණු ද රැසක්ම ඇත. ජී. සී. අපොන්සු මැතිතුමා, කිසිදාක පල්ලියකට, පන්සලකට නොගිය එහෙත් බෞද්ධ ප්‍රතිපත්ති අනුව ජීවත් වූ කෙනෙකි. බෞද්ධ බැතිමතෙකු ලෙසින් පන්සිල් පද පහම පිලිපදිනු ලැබූ අතර, කිසිදා මාංශ අනුභව නොකල, එමෙන්ම කිසිදු මත් වතුරක් පානය නොකල දැහැමියෙකි. මේ ධනවත් ව්‍යාපාරිකයා කිසි දිනෙක අත් ඔරලෝසුවක් නොපැලදි නමුත්, වෙලාවට වැඩ කිරීමට දැක් වූ උනන්දුව සහ එලෙසින් ම කටයුතු කිරීම, අද සමාජයටත් ආදර්ශයකි. විවිධ ප්‍රදේශයන්වල විහාරස්ථානවලට මෙන්ම සභා භේදයකින් තොරව කිතුණු දෙව්මැදුරුවලට ද ආධාර උපකාර කරනු ලැබූ පරිත්‍යාගශීලියෙකි.

 

එවන් බැතිමත් ධානපතියෙකුට දාව උපත ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් කුඩා කාලයේ සිට ම පිතෘක සෙනෙහස උපරිමයෙන් විද ඇති බව උන්වහන්සේ පවසා ඇති විවිධ විස්තරයන්ගෙන් අපට වැටහී ඇත. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තම පියා සතු සියළුම ධනයට ද, ව්‍යාපාරයන්ට ද, වතුපිටි වලට ද උරුමකම ලැබූ නිසා, උන්වහන්සේ අපොස්තුළුවරයට පත්වූයේ හිස් අතින් නොවේ. මහා ධනවතෙකුගේ පුතෙකු ලෙසිනි. අද සමාජයේ ක්‍රිස්තුස් වහන්සේගේ නාමයට, සේවයට කැපවූවන් ලෙස ජීවත්වෙමින්, අහිංසක බැතිමතුන්ගේ පඩුරුවලින් ද, පාසැල් ඉදිකර ඒවාට සිසුන් ඇතුළත්කර ගැනීමේ දී හා සිසුන් ඇතුලත්කරගත්තාට පසුව ද කඩා වඩා ගන්නා මුදල්වලින් මහා ධනවතුන්මෙන්, කටයුතු කරන පූජක පැලැන්තියට කදිම ආදර්ශයක් දීමට, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට හැකි වී ඇත්තේ, සිය ධනවත් පියා නොමසුරුව, තමා හරි හම්බ කල සියල්ලක් සිය පුතුට ප්‍රධානය කල නිසාවෙනි.

 

නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට වරක් පැවසූවේ, එතුමිය නමින් දෙව්මැදුරක් ඉදිකරන ලෙසටයි. දෙව් මවුන්ගේ ඉල්ලීමකට අනුව මේ පෘතුවිය මත ඉදි වූ අටවන දෙව් මැදුර බවට පත්කරමින්, එම ඉල්ලීම ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඉටුකරනු ලැබුවේ බැතිමතුන්ගේ මුදල් එක්කාසු කරමින් නොවේ. උන්වහන්සේගේ පුද්ගලීක ධන පරිත්‍යාගයෙනි. උන්වහන්සේගේ පුද්ගලීක ධන පරිත්‍යාග යනු, උන්වහන්සේ හම්බ කල ධනය නොවේ. සිය පියාණන් වූ, ජී. සී. අපොන්සු මැතිතුමා, උන්වහන්සේට ප්‍රධානය කල ධනයයි. දේවමන්දීරය සදහා කෝටි ගණනක් වැය කරන ලදී. ජී. සී. අපොන්සු මුදලාලි මහතා යනුවෙන් සුප්‍රසිද්ධව සිටි මේ ධනවත් ව්‍යාපාරික පිංවතාගේ 47 වන ගුණානුස්මරණය, බැතිමතුන් වශයෙන් අපිදු සිහිපත් කරන්නෙමු. ඒ වටිනාකම අගය කරන්නෙමු.

 

වසර 62 ක කාලයක් ජීවත් වී 1974 වසරේ ජූලි 4 වන දින මෙලොවින් සමුගත් ජී. සී. අපොන්සු මැතිතුමා මේ ලොව ජීවත් වූ වාසනාවන්ත ම පියා ලෙසින් අපි අද සමරමු. අද අප අතර තවමත් ජීවමානව වැඩසිටින 14 වන අපොස්තුළුතුමන් උපත ලැබුවේ එතුමා තුළින් ය. එසේනම්, අද 2021 ජූලි 4 වෙනි දින වන අද, එවන් පියෙකු මෙලොවින් සමුගෙන වසර 47 ක් සපිරෙන දිනයේ ඒ ශ්‍රීමතාණන්ව සමරන්නේ බුදු රජාණන්වහන්සේ පවසා ඇති දහම් වැකියක් ද සිහිපත් කරමිනුයි, එනම් මෙවන් පිංවතුන්ගේ රූපය දිරුව ද නාමය නොදිරණ බව සිහිකරමිනුයි.

 

දැනට රට තුල පවතින වසංගත තත්වය නිසා ඇතිවී තිබෙන බාධකයන් පහව ගියපසු, ජී. සී. අපොන්සු මැතිතුමාගේ ගුණ සිහිකර විශේෂ අනුස්මරණ උත්සවයක් පැවැත්වීමට අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතා සූදානමින් සිටින බව ද අද (2021 ජූලි 4) දින මට දැනගැනීමට ලැබුණා. එය කදිම අදහසකි. කල යුතුම දෙයකි.

 

සටහන – ප්‍රවීන් ශානක පෙරේරා – ජාඇල