සෑම සතියකම සෙනසුරාදා සවස පැවැත්වෙන හාස්කම් යාච්ඤාව මැයි 4 වෙනි සෙනසුරාදා ද සවස සිරිත් පරිදි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පැවැත්වුණා.

 

හාස්කම් යාච්ඤාවට සහභාගි වීම සදහා දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් සැදැහැවතුන් පැමිණ සිටි අතර දැනට පවතින අනාරක්ෂිත ආරක්ෂක තත්වය නිසා සිද්ධස්ථානය තුලත්, සිද්ධස්ථානයෙන් පිටතත් විශේෂ ආරක්ෂක විදි විධාන යොදා තිබුන අතර ඒ සදහා රජයේ ආරක්ෂක අංශ මගින් ලැබුනේ ප්‍රශංසනීය දැඩි සහයෝගයක්.

 

ආරක්ෂක හේතූන් මත දැඩි පරීක්ෂා කිරීම් සහිතව සියළු බැතිමතුන් සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයන තුලට ඇතුලත් කරනු ලැබූ අතර, සියලුම සැදැහැවතුන් සාමයේ රාජේශ්වරිය වූ නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන කටුනායක අප ස්වාමිදූගේ ප්‍රතිමාව පාමුල ඉටිපහන් දල්වා ජපමාලය උච්චාරණය කර හාස්කම් යාච්ඤාව ද උච්චාරණය කරනු ලැබුවේ එතුමිය වෙත දැඩි භක්තියකින් යුතුවයි.

 

දැඩිලෙස බලාපොරොත්තු සුන් වූ අවස්ථාවකට මුහුණ පා සිටින මෙම අනාරක්ෂිත කාල සීමාවේ දී, නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත මහත් බලාපොරොත්තුවෙන් යුතුව සාමය පතා සියල්ලන්ගේ ම හදවත් තුලින් නැගුනේ එකම ඉල්ලීමක්.

 

සියල්ල අවසානයේ ආසිරි පැන් ද ලබාගෙන සැදැහැවත් ජනතාව සිද්ධස්ථානය වෙතින් නික්ම ගියේ නිර්මල කන්‍ය මරිය තුමිය කෙරෙහි සියළු බලාපොරොත්තු රදවා තබමිනුයි.

 

මැයි 4 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හාස්කම් යාච්ඤාව පවත්වනු ලැබූ අයුරු පිළිබද ඡායාරූපයි මේ