හෙට සෙනසුරාදා සවස 6 ට නැවතත් ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කෙරෙයි

ලොව පළමු වරට කුරුසිය, ‛ශුද්ධවූ කුරුසියක්’ බවට පත්වූයේත්, කුරුසිය බලවත් වූයේත්, නිර්මල කන්‍ය මරිය මාතාවෝ කුරුසිය පාමුළ සිටිය දී යි. ඒ බව අපට සිහි ගන්වමින් වර්තමානයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමාණන් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින්, කුරුසියේ ආශිර්වාදය ලබාදෙන විට ශුද්ධවූ කුරුසිය බලවත් වෙන්නේ සාතන්ගේ අහිතකර බලපෑම් මෙල්ල කරමිනුයි.

 

ඇත්තටම මෙය පුදුම වීමට තරම් සිද්ධියක් ද නොවෙයි. හේතුව මෙයයි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය යනු නිර්මල කන්‍ය මරියාවන් විසිතුන් වතාවක් දර්ශණය වූ සිද්ධස්ථානය පමණක් නොව, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙලොවට දෙවන වරටත් දර්ශණය වී, අපොස්තුළුතුමෙකුව තෝරාගනු ලැබූ සිද්ධස්ථානයයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ව දැකගැනීමට වාසනාව ලද අපොස්තුළුතුමෙක්, ශුද්ධවූ කුරුසිය සියතට ගනුලැබීම අපට සිහිගන්වන්නේ, සැබවින්ම කුරුසිය ‛ශුද්ධවූ කුරුසියක්’ බවට පත් වූ පළමු මහ සිකුරාදා දිනයේ, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජීවමානව ම කුරුසිය පාමුළ වැඩ සිටිය ආකාරයයි.

 

සෑම සෙනසුරාදාවකම සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් සිය සුරතට ශුද්ධවූ කුරුසිය ගෙන, විශ්වාසිකයන්ගේ හිස මත තබා ආශිර්වාද කරත් දී, ඇතැම් සැදැහැවතුන්ගේ ශරීර වෙවුලන්නට, සලිතවන්නට, පටන් ගනියි. සාතන්ගේ සියළු බලයන් මට්ටු කරමින් පැය ගණනාවක්, වෙහෙස දරාගෙන ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දානය කරනු ලබන්නේ මහත් කැපවීමෙනුයි.

 

හෙට (සැප්තැම්බර් 6) සෙනසුරාදා දිනයේ ද සවස 6 ට ශුද්ධවූ කුරුසියේ ආශිර්වාදය දානය කරනු ලබනවා.

 

මෙහි ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ පසුගිය සෙනසුරාදා (2025 අගෝස්තු 30) කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැඳුර තුලදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් සැදැහැවතුන්ගේ හිස මත ශුද්ධවූ කුරුසිය තබා ආශිර්වාද කල අවස්ථාවයි.