අප අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැඳුරේදී 18 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ට දර්ශණය වූ අතර, ජේසු බිළිඳුන්ව ද සිය වම් හස්තයෙන් දරාගෙන දර්ශණය වූ මරිය මතාවෝ, සකල ලෝ වැසියන්ට දැනුම් දීම සඳහා එදින ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ට දැනුම් දුන් පණිවිඩය උන්වහන්සේ විසින් ලොවට ප්‍රකාශ කරනු ලැබුවේ, 1977 ජූලි 31 වෙනි දිනයි. එදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පැරණි දර්ශණ දෙව්මැඳුර තුල, දර්ශණය සිදුවූ ස්ථානයේම මෙම පණිවිඩය නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමේ දේව මෙහෙය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ප්‍රධාවත්වයෙන් පවත්වනු ලැබීය. ජේසු බිළිඳුන් සහ දේව මවුන් පැවසූ වදන් ඇතුලත් නිල ලේඛණයට අත්සන් තැබීම සඳහා, රනින් නිමවූ තලයක් යොදා සකස් කල විශේෂ පෑන, දින එම අවස්ථාවේ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන් වෙත පිළිගන්වනු ලැබුවේ, උන්වහන්සේව මෙලොවට බිහිකල මව වූ, ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණිය විසිනුයි. ඡායාරූපයෙන් දැක්වෙන්නේ 1977 ජූලි 31 වෙනි දින සිදුවූ එම දුර්ලභවූත්, වාසනාවන්තවූත් සිදුවීමයි.

 

සිය කුසින් මෙලොවට බිහිකල තම පුතණුවන් යම් දිනයක, ලූර්දුවේ බර්නදෙත්, පාතිමාවේ ෆ්‍රුන්සිස්, ලුසී, ජසින්තා මෙන් කන්‍ය මරිය මවු තුමියව මෙලොවදී ම, දැක ගනීවි යයි මාග්‍රට් අපොන්සු මැතිණිය, එදා මේ පුතු ඉපදුන දා කිසිසේත් සිතන්නට නැතුව ඇති. එහෙත් දෙවියන්වහන්සේගේ ක්‍රියා මාර්ගයන් කොතරම් පුදුමාකාරද?

 

මෙදා අපට ද විශාල වාසනාවක් පෑදී ඇත. එනම්, එදා එනම් 1977 ජූලි 27 වෙනි දින නිර්මල කන්‍ය මරිය තුමිය ජේසු බිළිඳුන් ද සමගින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් ඉදිරියේ ජීවමානවම වැඩ සිටි අයුරු දැක්වෙන ප්‍රතිමාව, මෙදා අවුරුදු 38 කට පසුව, ඒ අපොස්තලික පියාණන්ගේ ම සුරතින් මෙම දෙසැම්බර් 24 වෙනිදා මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ආසිරි ගන්වනු ලබන ආකාරය අප දෙනෙතින් දැක දැකගැනුමට අපට සැබවින්ම වාසනාවක් මෙන්ම පිනක් ද තිබිය යුතුමය.