ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වන්නා වූ නිර්මල කන්‍ය මරිය තුමිය 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින 9 වන වරට දර්ශණය වූ අවස්ථාවේ දී ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩය එතුමිය කෙරෙහි විශ්වාසවත් සියළු ජනතාවට මහත් සැනසීමක් ලබා දෙන පණිවිඩයක් විය. එදින එතුමිය මෙලෙසින් ප්‍රකාශ කරනු ලැබුවාය. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’

 

මෙවැනි පණිවිඩයක් ප්‍රකාශ කරනු ලැබුවා වූ ඒ උත්තමාවිය වෙන කිසිවෙකුවත් නොව ස්වර්ගයේ අග්‍ර රාජිණිය වූ නිර්මල කන්‍ය මරිය තුමියයි. ලොව සියළු දරුවන්ගේ මාතාවෝ ඇයයි. ලොව පුරා විසිරි සිටින ඔබත් මමත් ඇතුළු අප සියල්ලෝම ජාති ආගම් භේදයෙන් තොරව අසරණ වී ඇති බව දුටු කන්‍ය මරිය මාතාවෝ සත්තකින්ම ‛‛අපගේ අම්මා’’ ලෙසින් අපට සරණය විය යුතු මේ දුක්බර මොහොත වටහාගෙන එතුමිය වෙත පැමිණෙන ලෙස ආයාචනා කරන්නීය.

 

නිර්මල කන්‍ය මරිය තුමිය තම දෑසින් දැක බලාගෙන එතුමියගේ මුහුණ බලාගෙන කතා බස් කරන අද ලොව ජීවත්වන එකම අපොස්තුළුතුමා දයාබර මරිය තුමියගේ ආශාව වටහා ගෙන එතුමිය වෙතින් අපට වරප්‍රසාද ලබා ගැනීමට මාර්ගයක් ද සකසා, එතුමියට ප්‍රිය මනාප යාච්ඤාවක් ද නිර්මාණය කර අපට ලබා දී ඇත.

 

අපොස්තුළුතුමෙකුගේ සුරතින් ලියවුන මෙම යාච්ඤාව කොතරම් බලවත් ද මරිය මවට කොතරම් ප්‍රසන්න ද කියතොත් මෙම යාච්ඤාව නිසි පරිදි උච්චාරණය කිරීමෙන් සැදැහැවතුන් ලබා ගන්නා පිහිට නිසාම අද මෙම යාච්ඤාව ජනතාව අතර ප්‍රසිද්ධ වී ඇත්තේ ‛හාස්කම් යාච්ඤාව’ ලෙසිනි.

 

සතියේ සෑම සෙනසුරාදාම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයට විවිධ ප්‍රදේශයන්ගෙන් එකතුවන සැදැහැවතුන් ජාති ආගම් භේදයෙන් තොරව, ආදර මරිය මව කෙරෙහි පූර්ණ විශ්වාසය තබා එකම හඩින් මෙම හාස්කම් යාච්ඤාව උච්චාරණය කරනු ලබති. හාස්කම් යාච්ඤාව අවසානයේ තමන්ගේ බලාපොරොත්තුව ලියා රතු පෙට්ටිය තුලට දැමීමට අවස්ථාව ලැබෙනු ඇත. එම ලිපි සියල්ලම පත්වන්නේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතටයි.

 

2018 ජනවාරි 13 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව ඉදිරියේ හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීම සිදුවූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙනි. හාස්කම් යාච්ඤාව අවසානයේ දී සැදැහැවතුන් පිරිසක් දෙව් මවුන් වෙත යොමු කරනු සදහා තම බලාපොරොත්තු ලිවූ ලිපි රතු පෙට්ටියට දමන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට පෙනෙනු ඇත