විටින් විට යම් කිසි කාල සීමාවක් පිච්ච මල් සුවඳ, පැතිරෙන මේ ලෝකයට ඇති එකම එක, දේව මෑණියන්ගේ ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් ආශිර්වාද කරනු ලැබුවේ, 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී යි. එදා 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාවේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් ආශිර්වාද කරනු ලැබූ දෙව් මවු ප්‍රතිමාව, මේ වන විට සත් වරක් පිච්ච මල් සුවඳ පතුරුවා, මෙවන් හාස්කමක් සිදුවන ලෝකයේ ඇති එකම දෙව් මවු ප්‍රතිමාව බවට පත්වී තිබෙනවා. ඉතින් අප දයාබර මෑණියන්ගේ ප්‍රතිමාව ආසිරි ගන්වා වසර 10 ක් සම්පූර්ණ වීම මෙවර නත්තලේ දී සමරණු ලබනවා. අප ජේසු සමිඳාණන්ගේ උත්පත්තියේ 2025 වෙනි සංවත්සරය ද මෙවර නත්තලට යෙදී තිබෙනවා. මේ සියල්ලක් සමරමින් ඔබට වරප්‍රසාද රැසක් හිමිකර දෙන ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව දෙසැම්බර් 24 වෙනි බදාදා රාත්‍රී 11.30 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරයේ දී, ආරම්භවන්නේ අද ලෝකයේ ජීවත්ව සිටින, එකම එක අපොස්තුළුතුමාණන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙනුයි.

 

දෙසැම්බර් 24 වෙනි බදාදා දින මධ්‍යම රාත්‍රියේ දර්ශණ දේව මන්දීරය තුල දී, අද ලෝකයේ ජීවත්ව සිටින, එකම එක අපොස්තුළුතුමාණන් විසින් පුද කරනු ලබන මධ්‍යම රාත්‍රී මංගල පූජාවන් සඳහා සහභාගි වීමට කැමති, පින් ඇති බැතිමතුන් කරුණාකර රාත්‍රී 11.15 ට කලින් සිද්ධස්ථානය වෙත පැමිණීමට කාරුණික වන්න. ඔබ කල්වේලා ඇතිව පැමිණියහොත් පහසුවෙන් ම දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු විය හැකියි.

 

අප බැතිමතුන්ගේ හදවත බඳු වූ, දර්ශණ දේව මන්දීරයේ, ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිතව ඇත්තේ, නිර්මල කන්‍ය මරිය මාතාවන්, ජේසු බිළිඳුන්ව, එතුමියගේ වම් හස්තයේ හොවාගෙන ජීවමානව පෙනී සිටි අයුරු දැක්වෙන ප්‍රතිමාවයි. වසර හයක කාලක සිට, යම් දිනයක මේ ප්‍රතිමාවෙන් පිච්ච මල් සුඝන්ධය පැතිරීම ඉතාමත් පුදුම ප්‍රාතිහාර්‍යයක්. පළමු වරට 2019 ජූලි 27 වෙනි සෙනසුරාදා සවස මෙය සිදු වූ අතර, දෙවන වරට 2020 ඔක්තෝම්බර් 3 වෙනි සෙනසුරාදා සවස සිදු වුනා. 2021 ඔක්තෝම්බර් 9 වෙනි සෙනසුරාදා සවස මේ මහා ප්‍රාතිහාර්‍යය තුන්වන වරට සිදුවී, 2022 වසරේ අගෝස්තු 20 වෙනි සෙනසුරාදා සවස, සතරවෙනි වතාවට ද මෙය සිදු වී, 2023 වසරේ ඔක්තෝම්බර් 20 වෙනි සිකුරාදා ආරම්භ වී 21 වෙනි සෙනසුරාදා දක්වාම පැවතුනා. 2024 පසුගිය වසරේ අගෝස්තු 17 වෙනි සෙනසුරාදා මෙම විශ්මිත ප්‍රාතිහාර්‍යය සය වෙනි වරට ද සිදු වූ අතර, 2025 මෙම වසරේ ඔක්තෝම්බර් 18 වෙනි සෙනසුරාදා සත් වෙනි වරටත් මෙම දිව්‍යමය පිච්ච මල් සුවඳ නිකුත් වූ අතර, මෙවර දෙසැම්බර් 24 වෙනි දා මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව පුද දෙනු ලබන්නේ, මෙම අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව පාමුළ සිටයි. ජේසු බිළිඳුන් අපට ලැබුනේ මරිය මාතාවන් තුලිනුයි. ඉතින් අපට නත්තලේ දී අමතක කල නොහැකි උත්තමාවිය මරිය තුමියයි.

 

ජේසු බිළිඳුන් තුරුලේ වඩවා ගත් නිර්මල කන්‍ය මරිය තුමියව තම දෑසින් දැක ගැනීමේ සුවිශේෂි වාසනාව ලද, අද ලොව ජීවත්වන මකම අපොස්තුළුතුමන්ව, ඔබගේම දෑසින් දැකගෙන, උන්වහන්සේ පුද කරනු ලබන මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවට සහභාගි වී, උන්වහන්සේ දානය කරනු ලබන නත්තල් ආශිර්වාදය ලබා ගැනීමට පිං සිතක් ඔබට ඇතිවූවහොත්, දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.15 වන විට සිද්ධස්ථානයට පැමිණෙන්න. නත්තල් මංගල දිව්‍ය පූජාව රාත්‍රී 11.30 ට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ජේසු තුමන් ද, නිර්මල කන්‍ය මරිය මාතාවන් ද දර්ශණය වූ, දර්ශණ දේව මන්දීරයේ දී ආරම්භ වෙනවා.

 

තව දුරටත්, ඔබට විශේෂ මතක් කිරීමක් කරන්නට කැමතියි. මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවසානයේ දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ජේසු බිළිඳුන්ගේ ප්‍රතිමාවන් ආශිර්වාද කරනු ලබනවා. ඔබගේ නිවසේ සාදනු ලබන ගවලෙනෙහි තැන්පත් කිරීමට බලාපොරොත්තුවන ජේසු බිළිඳු ප්‍රතිමාව ආශිර්වාද කිරීම සඳහා, නත්තල් දිව්‍ය පූජා මෙහෙයට ඔබ පැමිණෙන විට රැගෙන එන්න. එම ජේසු බිළිඳු ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන් විසින් ආශිර්වාද ගැන්වීමෙන් පසුව, සුදු රෙදි කැබැල්ලක ගෞරවාන්විතව ඔතාගෙන, ගෙදර ගෙනගොස්, ඔබගේ නිවසේ නත්තල් ගවලෙන තුල තැන්පත් කරන්න.

 

ජාතී ආගම් භේදයෙන් තොරව, ඉතාමත් පූජනීයව පවත්වාගෙන යනු ලබන මේ පූජා භූමියේ, කිසිවක් සඳහා කිසිදු බලකිරීමක් නැහැ. මෙම සිද්ධස්ථානයට පැමිණෙන්න කියා බලකිරීමක් නැහැ, ඒ වගේම මෙම සිද්ධස්ථානයට පැමිණෙන කිසිවෙක්, වෙනත් කිසිදු ආගමීක ස්ථානයකට යන්න එපා කියලා බලකරන්නේත් නැහැ. මේ සිද්ධස්ථානය සියල්ලන්ටම පොදුයි, සියල්ලන්ටම විවෘතයි. පූජනීය ස්ථානයක පැවතිය යුතු පූජනීයත්වය රැකෙන පරිදි, සිද්ධස්ථානයේ විනය නීතීන්ට අනුව හැසිරෙන්නට හැකියාවක් ඇති ඕනෑම අයෙකුට මෙහි පැමිණිය හැකියි.

 

අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් මෙලොව ගත කල ජීවිතයේ උන්වහන්සේට උදාවන 69 වන නත්තලයි දෙසැම්බර් 24 වෙනි දින මැදියම් රැයේ උදාවන්නේ. ඊටත් වඩා විශේෂයෙන් මා සඳහන් කරන්නට කැමතියි, අපොස්තුළුතුමෙක් වශයෙන්, උන්වහන්සේට උදාවන 51 වන නත්තලයි, මේ උදාවන්නේ.

 

පසුගිය විවිධ වර්ෂවල දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් පුද දුන් මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයන් කීපයක ඡායාරූප එකතුවක් මෙම ඡායාරූපයන්ගෙන් ඔබට දැකගත හැකියි