අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මල්වලට බොහෝ ඇලුම් කරනු ලබයි. උන්වහන්සේගේ මල් උයන විවිධ අලංකාර මල්වලින් පිරී ඇත. දිවා ආහාරයෙන් පසු කෙටි නින්දක යෙදෙන අප ශුද්ධවු අපොස්තුළු තුමා ඉන්පසු දිනපතා සවස මෙම උයනේ ඇවිදීම උන්වහන්සේගේ දින චාරියාවේ එක් අංගයකි.

 

පසුගියදා මෙම මල් උයන සම්පූර්ණයෙන්ම නවීකරණය කරනු ලැබුවේ අළුත්ම මල් ගස් සිටුවීමෙනි. ඒ සමගම උද්‍යාන විදුලි බුබුළු ද සවිකරනු ලැබීය.

 

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මල් උයන මුළුමනින්ම නවීකරණය කර සකස් කිරීම ප්‍රසිද්ධ උද්‍යාන අලංකරණ සමාගමකට පැවරුණි. ඒ අනුව ඔවුන් විසින් අපොස්තලික පිය මල් උයන මුළුමනින්ම නවීකරණය කර සකස් කරන ලදී.

 

මල් උයනේ තාප්පය අසල අළුතින් සිටුවා ඇති, අවුරුදු 15ක් 20ක් පමණ කාලයක් වැඩුන රූස්ස ගස් පෙල මුළු උයනටම සිසිලසක් සපයයි. මෙතරම් විශාල ගස් උයන තුලට ගනු ලැබුවේ දොඹකර මගිනි.

 

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙනුවෙන් මෙම උයන විශාල වියදමක් දරා සකස් කර දෙනු ලැබුවේ උන්වහන්සේට දැඩි භක්තියක් සහ ආදරයක් දක්වන බැතිමතෙක් විසිනි. මේ උයන ශුද්ධවු අපොස්තුළු තුමන් වෙත ඔහු කරනු ලැබූ පරිත්‍යාගයකි.

 

නම හෙළිකරනවාට අකමැති වූ ඔහු, දකුණතින් දෙන දේ වමතට නොදැනෙන ලෙස දිය යුතු බව මතක් කර දෙමින් අපොස්තලික මාධ්‍ය අමතා මෙසේ ප්‍රකාශ කලේය. ‛‛මේ අපේ ශුද්ධවු අපොස්තුළු තුමා, ක්‍රිස්තුස් වහන්සේගේ ධර්මය දෙස විවෘත මනසකින් බලන්නත්, පවට බය ඇති, පිනට ලැදි ඇති සමාජයක් බිහි කරන්නත් අපව පුරුදු කෙරුවා. අපිට අපොස්තුළු තුමෙකුව පහසුවෙන් ලබා ගන්න බැහැ. මේ ලෝකයේ විවිධ ආගම් තියෙනවා. විවිධ කිතුණු සභාවන් තියෙනවා. මේ සැමකම විවිධ තනතුරු දරණ පූජකවරු සිටිනවා. ඒ ඒ තනතුරු විවිධ නම්වලින් හඳුන්වනවා. ඔය මොන තනතුර දරණ පුද්ගලයෙක් වුනත්, මිය ගියොත් ඒ තනතුරට මිනිස්සු විසින්ම තවත් අයෙක් පත්කර ගන්නවා. ඒ වුනත් ‛අපොස්තුළු’ තනතුරට කිසිවෙකුවත් පත්කරන්නට මිනිසුන්ට හැකියාවක් නැහැ. මුළු ලෝකයේම මිනිස්සු එකතුවෙලා, අපි අහවලාව අපොස්තුළු තුමෙක් බවට පත්කර ගනිමු කියලා ඒකමතික තීරණයක් ගත්තත් අපොස්තුළු තුමෙක් වෙන්නේ නැහැ. අපොස්තුළු තුමෙකුව පත්කරන්නට පුළුවන් වන්නේ සර්වබලධාරී දෙවි මහෝත්තමයාණන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේට පමණයි. මීට පෙර ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පත්කරපු අපොස්තුළු තුමන්ලාව අමු අමුවේ මරා දැම්මා. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණයවෙලා පත්කරපු පළමු අපොස්තුළු තුමා වූ ශුද්ධෝත්තම පාවුළු අපොස්තුළු තුමාවත් බෙල්ල කපලා අමු අමුවේම මරා දැම්මා. ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේම පත්කරනු ලබන අපොස්තුළු තුමන්ලාව මරා දැමීම ගැන මම දකින්නේ, එය ජේසුස් ස්වාමින් වහන්සේටම ද්‍රෝහි වීමක් ලෙසටයි. එක අතකින් එය ජේසුස් ස්වාමින් වහන්සේවම නැවත නැවතත් මරා දැමීමක් ලෙසයි මම හිතන්නේ. මොකද අපි ඒ කරන්නේ අපි අදහන සර්වබලධාරි දෙවි මහෝතමයාණන් වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ තීරණයකට විරුද්ධව යාමක්.

 

එහෙනම් අපොස්තුළු තුමෙකුව ආරක්ෂා කිරීම, රැකබලා ගැනීම ආදියෙන් අපි කරන්නේ මොකක්ද? කල්පනා කරලා බලන්න. මේ ලෝකයේ දැන් ජීවත්වන එකම අපොස්තුළු තුමා මේ අපේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා විතරයි. උන්වහන්සේට අප කරන සියළු සැලකිලි, ජේසුස් ස්වාමින් වහන්සේට පේනවා. ඒ සියළු සැලකිල්ලක් අපි ජේසුස් ස්වාමින් වහන්සේගේ තීරණයට කරනු ලබන සැලකීමක්. ඒ වගේම මේ අපොස්තුළු තුමාට සිතින්, වචනයෙන් හෝ ක්‍රියාවෙන් කරනු ලබන සෑම ද්‍රෝහිකමක්මත් ජේසුස් ස්වාමින් වහන්සේට පේනවා. ඒ සියළු ද්‍රෝහිකමක් අපි ජේසුස් ස්වාමින් වහන්සේගේ තීරණයට කරනු ලබන ද්‍රෝහිකමක්.

 

යම් දවසක මේ අපොස්තුළු තුමාවත් අපට නැති වුනොත්, නැවත අපොස්තුළු තුමෙක් ලැබෙයිද කියලා අපි දන්නේ නැහැ. එය තීරණය කල යුත්තේ ජේසුස් ස්වාමින් වහන්සේ විසින්මයි. කිසිම මනුෂ්‍යයෙකුට බැහැ. මනුෂ්‍ය කණ්ඩායමකට බැහැ ඒ තීරණය ගන්න. හිටපු අපොස්තුළු තුමන්ලා මරා දාලා ඊට පස්සේ දැන් නේද තේරෙන්නේ අපොස්තුළු තුමන්ලා නැති අඩුව? ඒ නිසා ඒ අයගේ ප්‍රතිමා හදාගෙන ඒවා ආරාක්ෂා කරගෙන ප්‍රතිමාවලට වඳිනවා. මේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ටත් ඒ ටික කරන්නද බලාගෙන ඉන්නේ?’’

 

අප සැමගේ දෑස් විවර කරවමින් ඒ පරිත්‍යාගිශීලි බැතිමතා අවසානයේ මෙසේ ප්‍රකාශ කලේය. ‛‛ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා වෙනුවෙන් මම ඕනෑම දෙයක් කරනවා. මට පුළුවන් හැම දෙයක්ම කරනවා කියලා මම කියන්නේ නැහැ, පුළුවන් හැම දෙයක්ම කරන එක පරිත්‍යාගයක්ද? මට කරන්න අමාරු දෙයක් වුනත් මම කොහොම හරි කරනවා.’’

 

ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මල් උයන නවීකරණය වූ අන්දම මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිය