‛‛මෙතන ඉන්න දෙමව්පියන්ගෙන් මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අම්මලාට මම ආයාචනා කරනවා. ඔබේ දියණිය තරුණියක් වූ පසු කෙසේ හැඳ පැළඳගෙන සිටිනවා දකින්නට ඔබ කැමතිද, අන්න ඒ ලෙසින්ම කුඩා කාලයේ සිටම දියණියට ඇඳුම් ලබා දෙන්න. ඔබේ කුඩා දියණිය අද අඳින පළඳින විදිහටම තමයි, හෙටත් අඳින්නේ, ඒ විදිහටම තමයි, තව මසයකිනුත් අඳින්නේ, ඒ විදිහටම තමයි තව අවුරුද්කිනුත් අඳින්නේ. ඉතින් ශීලාචාර විදිහට අඳින්න පුරුදු කලොත්, ඊට පස්සේ ඒ ආකාරයට ඇඳීම පුරුද්දක් වෙනවා. දියණියත් ශීලාචාර වෙනවා.’’
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ 2012 නොවැම්බර් 18 වෙනි ඉරුදින සවස උන්වහන්සේව සමුවූ සිද්ධස්ථාන බැතිමතුන් පිරිසක් අමතා කරනු ලැබූ කතාවේදීය.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග මෙම විශේෂ හමුව පැවති අතර, සමාජයෙන් ඈත්වන විනය පිළිබඳව දැඩි අවධානයකින් කතා කල උන්වහන්සේ, ‛‛ඇඳුමක් මිනිහෙකුව ශීලාචාර කරන්නේ නැහැ, නමුත් ශීලිචාර මිනිසාව ඇඳුමෙන් හඳුනා ගන්න පුළුවන්. ශීලාචාර පිළිවෙලට ඇඳගත්, අශීලාචාර මිනිස්සු ඉන්නවා. නමුත් අශීලාචාර විදිහට ඇඳගත්, ශීලාචාර මිනිස්සු නැහැ’’ යි ප්‍රකාශ කල සේක.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, සිද්ධස්ථාන පාලක කමිටුව මගින් සංවිධානය කර තිබූ, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමග මෙම විශේෂ හමුවේදී, බැතිමතුන් පිරිස අමතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා පැවැත්වූ සම්පූර්ණ කතාව පහත දැක්වේ.
අද මෙම අවස්ථාවේ ඔබ සියළු දෙනාවම මම ඉතාමත් කරුණාවෙන් පිළිගන්නවා. ‛‛දෙවියන් වහන්සේ ද අපගේ ස්වාමින් වන ජේසුස් වහන්සේ ද දැනගැන්මෙන්, කරුණාවත් සාමදානයත් බහුල ලෙස ඔබට ලැබේවා’’ (2 පේදුරු 2)
මෑතක දිනක් මම ගමනක් යත්දී එක්තරා නගරයක, බෞද්ධ විහාරස්ථානයක ගේට්ටුවේ සවිකර තිබුණ දැන්වීම් පුවරුවක් දැකලා, මට විශාල කණගාටුවක් ඇති වුනා. එම දැන්වීම් පුවරුවේ සඳහන් වෙලා තිබුනේ එක වාක්‍යයයි. මෙන්න මේකයි ඒ වාක්‍යය. ‛‛මෙය පූජනීය ස්ථානයකි, කරුණාකර විනීතව හැසිරෙන්න.’’ මේ ශ්‍රී ලංකාව බෞද්ධ රටක්. විහාරස්ථායක දී හැසිරිය යුතු ආකාරය බෞද්ධ ජනතාව තම දරුවන්ට කියා දෙන්නේ පුංචි කාලයේදීමයි. කියාදෙනවා විතරක් නෙමෙයි, දෙමාපියන් තම දරුවන්ව ඒ සඳහා හුරු පුරුදු කරවනවා. බෞද්ධ විහාරස්ථානයකට පැළඳිය යුතු ඇඳුම කෙසේ විය යුතුද කියල විතරක් නෙමෙයි ඇඳුමේ වර්ණය පවා කවුරුත් දන්නවා. මේ බෞද්ධ රටේ ජීවත්වන සුළු පිරිසක් වන ක්‍රිස්තියානි ජනතාව පවා ඒ ගැන දන්නවා. නමුත් මේ 2012 වසර වන විට, බෞද්ධ විහාරස්ථායකට ඇතුළුවන ගේට්ටුවේ, ‛‛මෙය පූජනීය ස්ථානයකි, කරුණාකර විනීතව හැසිරෙන්න’’ කියලා බෝඩ් එකක් එල්ලලානම් මේ සමාජයේ තත්වය ගැන අපිට හිතා ගන්න පුළුවන් නේද?
ඇත්තටම, බෞද්ධ විහාරස්ථායක මෙවැනි බෝඩ් එකක් ගේට්ටුවේ එල්ලන්න තරම් අද සමාජයේ මිනිස්සු ශීලාචාරකමින් පිරිහිලා නම්, කිතුණු සිද්ධස්ථානයක ගේට්ටුවේ මොනවගේ බෝඩ් එකක් එල්ලන්න සිද්ධ වෙයිද? මම එහෙම කියන්නේ, කිතුණු සිද්ධස්ථානවලට එන බැතිමතුන්ට ඇඳුම් පිළිබඳව හෝ ඇඳුමේ වර්ණය පිළිබඳව නියමයන් නැහැ. නියමයන් පනවා ඇති බෞද්ධ විහාරස්ථායක අද තත්වය අර විදිහ නම්, නියමයන් පනවා නැති, කිතුණු සිද්ධස්ථානයකට එන බැතිමතුන්ගේ තත්වය කොයි විදිහකට ඇතිද? මොකද අද සමාජය ශීලාචාරකමෙන් පිරිහිලා, හොඳටම පිරිහිලා.
මේ ශීලාචාරකමෙන් පිරිහුණ සමාජයෙනුයි කිතුණු සිද්ධස්ථානයටත් ජනතාව එන්නේ. මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන හිතලා බලන්න. මේ සිද්ධස්ථානය ජේසුස් ස්වාමින් වහන්සේ දර්ශණය වුන ලංකාවේ එකම සිද්ධස්ථානය. මරිය තුමී දර්ශණය වුන ලංකාවේ එකම සිද්ධස්ථානය. මේ සිද්ධස්ථානය බොහෝම හාස්කම් සිදුවන සිද්ධස්ථානයක්. මේ සිද්ධස්ථානයට බැතිමතුන් වැඩි පුරම එන්නේ පිහිට ලබා ගැනීමටයි. වරදවා තේරුම් ගන්න එපා, එක් අතකින් තමන්ට වාසියක්, ප්‍රයෝජනයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනුයි එන්නේ. එසේකොටත්, මෙහි පැමිණෙන බැතිමතුන්ට පිළිපැදිය යුතු විනය නීතීන් පනවන්නට සිද්ධස්ථාන පාලක කමිටුවට සිදුවෙලා නම්, සමාජයේ තත්වය කොහොමද කියලා හිතන්න පුළුවන් නේද?
1981 දෙසැම්බර් 21 වෙනි දින නිර්මල කන්‍ය මරිය මාතාවෝ 21 වන වරට මෙම සිද්ධස්ථානයේදී දර්ශණය වී ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩය, මේ අවස්ථාවේ ඔබ සියළු දෙනාටම මම මතක් කරන්නට කැමතියි. ‛‛නූතන ස්ත්‍රීන් අශෝභන ලෙස පළඳින ඇඳුම් ගැන ස්වාමින් වහන්සේ කම්පා වී සිටියි. පිරිසිදුකමද, ශීලාචාරකමද විනාශ කරවන අන්දමින් ඔවුන් දිනෙන් දිනම තම විලාසිතා නවීකරණය කර ගනියි. අශෝභන විලාසිතා තුලින් ඔවුන්ද සාතන්ට ලෝකය තුල ඉඩ සලසා දෙයි. නොහොබිනා ඇඳුම් මගින්, නොහොබිනා පිළිවෙලට තම ශරීර ප්‍රදර්ශණය කිරීමට ස්ත්‍රීන් දක්වන උනන්දුව අප්පිරියාවකි.’’ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මරිය තුමී මේ ප්‍රකාශය කෙරුවේ 1981 දෙසැම්බර් 21 වෙනිදා, ඒ කියන්නේ අවුරුදු 31 කට පෙර. අද 2012 නොවැම්බර් 18 වෙනිදා.
ඇත්තටම එදා මරිය තුමී ඔය ප්‍රකාශය කරත්දී, ඒ කියන්නේ අවුරුදු 31 කට පෙර, මේ තරම් අශීලාචාර තත්වයක් සමාජය තුල දකින්න ලැබුනේ නැහැ. නමුත් මට මතකයි, අශීලාචාර සමාජයක් නිර්මාණය වීමේ සේයාවන් දකින්නට තිබුනා. ඒ නිසා තමයි මරිය තුමී තත්වය භයානක වෙන්න කලින්ම අනතුරු හඟවලා තියෙන්නේ. දැන් තත්වය කොහොමද? මේ සිද්ධස්ථානයට පැමිණෙන කාන්තාවන්ට විතරක් නෙමෙයි, පිරිමි අයටත්, ඇඳුම් ගැන විනය නීතීන් පනවන්න වෙලා. මේ මරිය තුමී දර්ශණය වූ පූජා භූමියට එන බැතිමතුන්, මරිය තුමියගේ අර ‛‛යහපත් විනයක්’’ ගැන ප්‍රකාශය දැන දැනත්, එතුමියගෙන්ම පිහිට අපේක්ෂා කරමින්, විනය නීතීන්වලින් රිංගා යාමට දරණ උත්සහයන් පිළිබඳව, අපොස්තලික ආරක්ෂක අංශයෙන් මටත් දැනගන්නට ලැබිලා තියෙනවා. මරිය තුමියගේම වචනවලින් කියනවා නම්, ‛‛සාතන්ට ලෝකය තුල ඉඩ සලසා දෙන’’ කොන්ත්‍රාත්තුව භාර අරගෙන, මරිය තුමියගෙන් පිහිට ඉල්ලීමේ තේරුම ඇත්තටම මොකක්ද?
දනහිස වැසෙන සේ ඇඳුම් ඇඳීමට කාන්තා පක්ෂය මේ තරම් අකමැති ඇයි කියලා අද මට අහන්න සිද්ධ වෙලා. උරහිස් වැසෙන සේ ඇඳුම් ඇඳීමට කාන්තා පක්ෂය මේ තරම් අකමැති ඇයි කියලා අද මට අහන්න සිද්ධ වෙලා. මෙහෙම ගියොත්, කාන්තාවන් ඇඳුම් අඳින්න මේ තරම් අකමැති ඇයි කියලත් ඉදිරියේදී අහන්න සිද්ධ වෙයි. අද සමහර කාන්තාවන් අඳින ඇඳුම් දැක්කහම, මට හිතෙනවා මේ ඇඳුම් මහලා ඉවර කරන්නත් කලින්ම අරගෙන අඳගෙනද කියලා.
ඇඳුමක් මිනිහෙකුව ශීලාචාර කරන්නේ නැහැ, නමුත් ශීලාචාර මිනිසාව ඇඳුමෙන් හඳුනා ගන්න පුළුවන්. ශීලාචාර පිළිවෙලට ඇඳගත්, අශීලාචාර මිනිස්සු ඉන්නවා. නමුත් අශීලාචාර විදිහට ඇඳගත්, ශීලාචාර මිනිස්සු නැහැ. අන්න ඒ නිසයි මම කිව්වේ, ඇඳුමක් මිනිහෙකුව ශීලාචාර කරන්නේ නැහැ වගේම, ශීලාචාර මිනිසාව ඇඳුමෙන් හඳුනාගන්න පුළුවන්, කියලා. මෙතන ඉන්න දෙමව්පියන්ගෙන් මම ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා. විශේෂයෙන්ම අම්මලාට මම ආයාචනා කරනවා. ඔබේ දියණිය තරුණියක් වූ පසු කෙසේ හැඳ පැළඳගෙන සිටිනවා දකින්නට ඔබ කැමතිද, අන්න ඒ ලෙසින්ම කුඩා කාලයේ සිටම දියණියට ඇඳුම් ලබා දෙන්න. ඔබේ කුඩා දියණිය අද අඳින පළඳින විදිහටම තමයි, හෙටත් අඳින්නේ, ඒ විදිහටම තමයි, තව මසයකිනුත් අඳින්නේ, ඒ විදිහටම තමයි තව අවුරුද්කිනුත් අඳින්නේ. ඉතින් ශීලාචාර විදිහට අඳින්න පුරුදු කලොත්, ඊට පස්සේ ඒ ආකාරයට ඇඳීම පුරුද්දක් වෙනවා. දියණියත් ශීලාචාර වෙනවා.
විශේෂයෙන් අම්මලාට මම කල ආයාචනය එතරම් වැඩක් වෙයිද කියලා මට නම් විශ්වාසයක් නැහැ. ඒ මොකද කියනවානම්, අද සමහර අම්මලා දිහා බලපුවාම, අම්මා කවුද, දුව කවුද කියලා සොයා ගන්නත් අමාරුයි. දුවට වඩා අම්මා තරුණියක් වෙන්න හදනවා.
මෙවැනි තත්වයන් හමුවේ සමාජය තුල බාල අපචාර, ස්ත්‍රී දූෂණ ආදිය හිඟයක් නොවීම පුදුම වෙන්න දෙයක් නොවෙයි. මේවාට අද සෑහෙන දුරට අම්මලාත් වගකියන්න ඕන කියලයි මගේ අදහස.
ගැහුණු පිරිමි දෙගොල්ලම ශීලාචාර මිනිසුන් වෙන්න. අශීලාචාරකම කියන මඩගොහොරුවේ, මිනිසා කෙලෙසන පාපය නැමැති විෂ බීජය හොඳට පෝෂණය වෙන බව අමතක කරන්න එපා. පවට බය සමාජයක්, එය දහල් දකින හීනයක් බවට පත්කරන්න එපා. මේ කර්තව්‍යයේදී අම්මලා දෝණිලා සියල්ලන්ටම වගකීමක් තියෙන බව අමතක කරන්න එපා. ‛‛මුහුන් ටිකකින් මුළු පිටි පිඩ පිපෙන (ගලාති 5/9) බව මතක තබාගෙන තේරුම් ගන්න.
මට සවන් දුන් ඔබ සියළු දෙනාටම මම ස්තූති කරනවා. දෙවියන් වහන්සේගේ අප්‍රමාණ කරුණාවත්, දයාබර මරිය තුමියගේ ආරක්ෂාවත් ඔබ සැමටම ප්‍රාර්ථනා කරමින්, මාගේ අපෝස්තලික ආශිර්වාදය දානය කරනවා.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා බැතිමතුන් පිරිසක් සමග පැවති විශේෂ හමුවේදී, උන්වහන්සේ බැතිමතුන් පිරිස අමතා කල අයුරු පහත ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි