ඉහත ඡායාරූපය දෙස බලන්න. මරිය තුමියගේ ප්‍රතිමාවන් 5 ක් ඔබට දැකගත හැකියි. මැදින් ඇති මරිය තුමියගේ ප්‍රතිමාව හැර, අනික් ප්‍රතිමා සතර විදේශීය රටවල දී ඡායාරූප ගනු ලැබූ මරිය තුමියගේ ප්‍රතිමාවන් ය. එම ප්‍රතිමාවන්ගේ ඇස්වලින් කදුළු බිදු ඇද හැලෙන ආකාරය ඔබට පෙනෙනවා නේද? මැදින් ඇති දෙව් මවුන්ගේ ප්‍රතිමාව දෙස බලන්න. මෙම ප්‍රතිමාව විදේශ රටක නොවේ. අප ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැදුර තුල ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත කර ඇති නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවයි. නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1977 ජූලි 27 වෙනි දින, දස අට වෙනි වරට, මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ම, ජේසු බිළිදුන් සිය වම් හස්තයේ දරාගෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ දර්ශණය වූ අයුරු මෙම ප්‍රතිමාවෙන් පෙන්නුම් කරනු ලබයි. ලබන අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස, මරිය තුමියගේ ජීවමාන සිනහව මෙම ප්‍රතිමාව තුලින් දැක ගැනීමට බොහෝ බැතිමතුන්ට හැකිවන අතර වැඩි විස්තර පහතින් සදහන්ව ඇත.

 

අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දෙව් මැදුරේ දී සිදුවන්නට යන පුදුම සිද්ධිය කුමක්ද?………. මෙයට දිය හැකි කෙටිම පිළිතුර වන්නේ, ලබන සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ‛අභිනව දර්ශණ දෙව්මැදුර තුල දී නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජීවමාන වෙනවා’ කියන කෙටි පිළිතුරයි.

 

මේ පිළිබදව තවත් ඔබට පැහැදිලි කරන්නට කැමතියි.

 

ශ්‍රී ලංකාවෙන් පිටත, ලෝකයේ විවිධ රටවල්වල මරිය තුමියගේ ප්‍රතිමාවලින් කදුළු ඇද හැලුන අවස්ථාවන් වාර්තා වී ඇති අතර, ඒවා සත්‍ය බවට ද සනාථ වී තිබෙනවා.

 

එවැනි ප්‍රතිමාවන් කීපයක ඡායාරූප පහතින් ඔබට දැකගත හැකියි.

 

ලොව විවිධ රටවල, දෙව් මවුන්ගේ ප්‍රතිමාවන්ගෙන් කදුළු බිදු ඇද හැළුන ද, ලබන සෙනසුරාදා සවස 6 ට ආසිරි ගන්වනු ලබන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව් මැදුර තුල ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත, නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පළදා ඇති ප්‍රතිමාවෙන් ඔබට දැක ගැනීමට ලැබෙන්නේ, නිර්මල මරිය තුමිය ජීවමානවම විටින් විට සිනහසෙන ලකුණුයි.

 

අභිනව දර්ශණ දේව මන්දීරය ආසිරි ගන්වා ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්, දර්ශණ දෙව් මැදුරට ඇතුළු වූ අවස්ථාවේ සිට, නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිදුන් දෝතෙ දරා වැඩ සිටින දෙව් මවු ප්‍රතිමාවේ මුවින්, විටින් විට ඇතිවන දයාබර සිනහව සමගින් තවත් ජීවමාන සලකුණු රැසක් ම දැක ගැනීමට, දර්ශණ දෙව් මැදුර තුලට ඇතුළුවන, දෙව් මවුන්ට ලැදි බොහෝ සැදැහැවතුන්ට හැකිවන බව අප ඔබට දන්වන්නේ හද පිරි බැතියෙනුයි, සතුටිනුයි.

 

අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා දර්ශණ දෙව්මැදුරට ඇතුළුවීම සදහා, දර්ශණ දෙව් මැදුර විවෘතව තබන්නේ පැයක කාලයක් පමණයි. එමනිසා කල් වේලා ඇතිව දර්ශණ දෙව්මැදුර ඉදිරිපිටට රැස්වන්නට ඔබ වග බලාගත යුතුයි.

 

නිර්මල කන්‍ය මරිය තුමියගේම ඉල්ලීමක් ඉටු කිරීම පිණිස මේ පෘතුවිය මත තනනු ලැබූ පස්වෙනි දෙව් මැදුර වන, මෙම දර්ශණ දෙව් මැදුර නිර්මල කන්‍ය මරිය තුමියට කැප කරනු ලබන අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සිට සෙනසුරාදාවන් පහක් විශේෂ වරප්‍රසාද දායක දිනයන් ලෙසින් මරිය තුමිය අපට ලබා දී ඇති අතර, එම දිනයන් පිළිබදව, නියමිත සෙනසුරාදා දිනයට පෙර සෙනසුරාදා දිනයේ දන්වනු ලබනවා. මේ අතරින් ප්‍රබලම දිනය වන්නේ අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා දිනයයි.

 

නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවන් රැසකින්ම කදුළු වැගිරුන අවස්ථාවන් වාර්තා වී ඇතත්, එතුමියගේ ප්‍රතිමාවකින් සිනහවක් දකින්නට ලැබෙන මෙම සිදුවීම ඉතාමත් දුර්ලභ සිදුවීමක් බව අප ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. එසේනම් මෙවැන්නක් දකින්නට හැකිවීම ද ඔබට ලැබෙන දුර්ලභ වාසනාවක්.

 

ඇත්තටම මරිය මවු තුමියගේ ප්‍රතිමාවන්ගෙන් කදුළු වැගිරුනේ ඇයිදැයි අපට යම් තරමකින් සිතාගත හැකියි, තේරුම් ගත හැකියි. නොමගටම යන, පාපයටම යන මෙලොව එතුමියගේ දරු කැල දකින මරිය තුමී, එතුමියගේ නිර්මල හදවතේ ඇවිලෙන දුක් වේදනාව, මෙලොව එතුමියගේ ප්‍රතිමාවන් කදුලින් තෙමා ඒ වේදනාව අපට පෙන්නුම් කලාදැයි අපට සිතිය හැකියි.

 

නමුත් අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී, නිර්මල මරිය මාතාවන්ගේ ප්‍රතිමාවෙන් කදුළු බිදු ඇද හැලෙනවා වෙනුවට, සිනහ හසරැල් නැංවෙන අයුරු පෙන්නුම් කිරීමට මරිය තුමී තීරණය කරනු ලැබුවේ ඇයි? එතුමියගේ දරුකැල වැරදි මගෙන් ඈත්වී, පාපයෙන් ඈත්වී සිටින බවක් එතුමිය පවසනවාද?…… නැහැ, නැහැ. මරිය මාතාවෝ සතුටු සිනහවෙන් අපට පවසන්නේ මෙන්න මේ පණිවිඩය යයි අපට සිතිය හැකියි. එය ඔබට කෙටියෙන් සදහන් කරන්නම්.

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ මේ වන විට ලෝකයේ විවිධ රටවල්වල දර්ශණය වී තිබෙනවා. ඒ අතරින් ස්ථාන පහක දී එතුමියගේ නමට දෙව්මැදුරු ඉදිකරන ලෙස ඉල්ලා සිටියා. දෙව් මැදුර ඉදි කල යුතු ස්ථානයද පවසා සිටියා. පළමු වැන්න, වර්ෂ 1858 ප්‍රංශයේ, ලූර්දු හි දී, දෙවැන්න, වර්ෂ 1917 පෘතුගාලයේ, පාතිමා හි දී, තුන්වැන්න, වර්ෂ 1932 බෙල්ජියමේ, බෝරැං හි දී, සතරවැන්න, 1933 බෙල්ජියමේ, බැනර් හි දී, පස්වැන්න, 1976 ශ්‍රී ලංකාවේ, කටුනායක හි දී. මෙලෙස ඉල්ලා සිටි ස්ථාන පහයි. මෙම ස්ථාන පහෙන්, පස්වෙනි ස්ථානය වන, ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී හැරුනකොට, අනික් ස්ථාන සතරේදී ම මරිය තුමියගේ ඉල්ලීම, අසා ගනු ලැබූ, දර්ශණය දුටු පුද්ගලයන්ට, මරිය තුමියගේ ඉල්ලීම ඉටු කිරීමට අවස්ථාව ලැබුනේ නැහැ. මරිය මාතාවෝ ඔවුන් අමතා කරනු ලැබූ ඉල්ලීම ඉටු කිරීම පිණිස, එම කාලයේ සිටි උදවිය, ඔවුන්ට යම් සහයෝගයක් දෙනවා වෙනුවට, ඔවුන් දුටු මරිය තුමිය ගැන කියන විටත්, ඔවුන්ට නින්දා කලා, ඔවුන්ට අපහාස කලා, ඔවුන් මහා බොරුකාරයන් යයි ප්‍රචාරය කලා, දෙව් මවුන් දර්ශණය වන්නාවූ එම ස්ථාන වෙත යාමෙන් ජනතාව ඈත් කලා, මෙවැනි කැත නින්දිත ආකාරයෙන් බොහෝ පිරිස් එවකට හැසුරුන බව අපි කවුරුත් නොදන්නවා නොවෙයි. ඒ නිසා මරිය තුමියව දැකගත්, දෙව් මැදුරක් පිළිබදව මරිය තුමියගේ ඉල්ලීම අසාගත් ඒ කිසිවෙකුටවත්, මරිය තුමියගේ ඉල්ලීම, ඔවුන් ජීවත් වන අතරේ ඉටුකර දෙන්නට බැරි වුනා. නමුත් ඔවුන්ගේ මරණින් පසුව, එම ස්ථානවල පමණක් නොව, මරිය තුමී ඉල්ලා නොසිටිය ස්ථානවලත් දෙව්මැදුරු ඉදිවී තිබෙනවා. ඇත්ත එයයි.

 

නමුත් ශ්‍රී ලංකාවේ, කටුනායක දී නිර්මල මරිය තුමී දර්ශණය වී අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් වෙතින් ද දෙව් මැදුරක් ඉල්ලා සිටියා. මේ සදහා සැදැහැවතුන්ම ආධාර කරන තෙක් උන්වහන්සේ බලා සිටියේ නැහැ. ඉතාමත් ඉහළින්ම, සමහර විට මරිය තුමියවත් නොසිතූ ලෙසින්, ඉතාමත් ලස්සන දෙව් මැදුරක් ඉදිකර, මරිය තුමියගේ ඉල්ලීම, ලබන සෙනසුරාදා සම්පූර්ණ කරනවා. මේ අනුව දෙව්මැදුරක ඉල්ලීම මරිය තුමියගෙන් ම අසාගෙන, එම ඉල්ලීම අසාගත් පුද්ගලයාගේ දෑස් ඉදිරිපිට දීම ඉටුවන ලොව ප්‍රථම අවස්ථාව උදාවන්නේ ලබන සෙනසුරාදා සවස 6 ට, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි. ඉතින් මෙවැනි වාසනාවන්ත අවස්ථාවක මරිය තුමී සතුටු නොවෙයි ද? සතුටින් සිනහ නොවෙයි ද? කදුළු පිසදා සිනහසෙන මරිය මාතාවෝ අපට බොහෝ වරප්‍රසාද දානය නොකරයි ද?

 

නමුත් සාතන් විවිධ උපාය මාර්ග යොදමින්, මරිය මවගේ මේ සතුටු දායක අවස්ථාවෙන් ඔබව ඈත් කරන්නට උපාය මාර්ගයන් යොදන බව තරයේ සිහිතබා ගැනීම වැදගත්. නිර්මල මරිය මාතාවෝ අපව සොයාගෙන අප අතරටම පැමිණ සිටින මෙම කාලයේ ඔබ මතක තබා ගත යුතුම වදනක් වන්නේ, ශුද්ධවූ බයිබලයේ, උත්පත්ති පොතේ සදහන්, දෙවි මහෝත්තමයාණන් සාතන්ට පැවසූ මේ වගන්තියයි. ‛‛තා සහ ස්ත්‍රිය අතර ද, තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි’’. (උත්පත්ති 3/15) මේ අනුව මරිය මව අප අතර ජීවමාන වන්නාවූ මේ කාලයේ මරිය මවගෙන් අපව ඈත් කර තබන්නට සාතන් ඉතා සූක්ෂම උපායන් යෙදීම ගැන ඔබ අප කවුරුත් අවදියෙන් සහ විමසිල්ලෙන් සිටිය යුතුමයි.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ප්‍රතිමාවකින් ජීවමාන සතුටු සිනහව දැක ගැනීමට අවස්ථාවක් ලැබෙන බව කියවෙන මේ පුවත ඇසෙන විට, ඇතැමෙක් සරදමින් සිනහසෙනවාට සැකයක් නැහැ. ඇත්තටම මෙය අසා ඔබට සිනහසෙන්නට පුළුවන් නැත්නම් මේ කියන කරුණු ගැන බුද්ධිමත්ව කල්පනා කරන්නට පටන් ගන්න පුළුවන්. තවත් අය මීට අපහාස කරන්නට ද පුළුවන්. කොහොමත් මෝඩයන්ගේ අත ඇති ආයුධය වන්නේ, ඔවුන්ට නොතේරෙන සියළු දේ ට අපහාස කිරීමයි, හේතුව ඔවුන් මෝඩයන් නිසයි.

 

තවත් පිරිසක්, මෙවැන්නක් විය හැකිද, මෙවැන්නක් කෙසේ විය හැකිද යනුවෙන් සිතන්නට පටන් ගන්නවා විය හැකියි. ඊට හොදම පිළිතුර, කන්‍යාවක් වූ මරිය තුමියගේ කුසය තුල දෙවි මහෝත්තමයාණන් පිළිසිදගන්නා බව දැනුම් දීමට ගාබ්‍රියෙල් නම් වූ දේව දූතයා කන්‍ය මරිය තුමිය ඉදිරියේ දර්ශණය වූ මොහොතේ දී, කන්‍ය මරිය තුමිය, එම දේව දූතයාගෙන් ඇසූ ප්‍රශ්ණයත්, ඊට දේව දූතයා දුන් පිළිතුරත් ඔබට මතක් කර දීමයි. ‛‛මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකිදැයි ඇසූ කන්‍ය මරිය තුමියට, දේව දූතයා දෙනුලැබූ පිළිතුර වූයේ, ‛‛දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත’’ යන්නයි. මේ නිසාම ‛‛දෙවියන් වහන්සේට සියල්ල කල හැකිය’’ යන්න ක්‍රිස්තියාණින්ගේ විශ්වාසයයි.

 

මේ අනුව තව දුරටත් ඔබව දැනුවත් කිරීමට කැමතියි. දෙවි මහෝත්තමයාණෝ, ගලීලයේ නාසරෙත් නුවර විසූ කන්‍ය මරිය තුමියගේ කුස තුලට පැමිණියානම්, තිරිගු පිටිවලින් සෑදූ පාන් හෙවත් පූප, අදටත් තමන් වහන්සේගේ ශ්‍රී ශරීරය බවට හරවන්නේනම්, මිදි ගෙඩිවලින් සාදන මිදි යුෂ, තමන් වහන්සේගේ ශ්‍රී රුධිරය බවට පත්කරන්නේනම්, මෙලොවට දර්ශණය වී අපොස්තුළුවරු දෙදෙනෙකුවම පත්කලානම්, තම මෑණියන් වූ කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවලින් කදුළු මතුවන්නට සලස්වන්නේනම්, ශ්‍රී ලංකාවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා, තම මෑණියන් වූ කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවෙන් සිනහ හසරැල් විටින් විට මතුවන්නට සැලැස්වීම, සියල්ල කල හැකි දෙවි මහෝත්තමයාණන්ට ඒ තරම් ලොකු දෙයක් නොවේ. ‛‛දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැත’’ මේ වදන් ක්‍රිස්තියාණි අපගේ විශ්වාසයයි.

 

මේ තර්ක විතර්ක මොන දේ අප ඉදිරිපත් කලත්, මෙවැනි උතුම් දේ දැකීමට පිනක් ද තිබිය යුතුයි. 1986, දෙසැම්බර් 20 වෙනි දා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ, නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූ අවස්ථාවේ ප්‍රකාශ කලේ, ‛‛දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිවීම, ලොකුම අභාග්‍ය’’ කියලයි. ඉතින් අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවසට මේ මහා දේව දීමනාව දකින්නට කැමැත්තක් ඇතිවීම ම භාග්‍යක්, වාසනාවක්, පිනක්.

 

මීට අමතරව, දර්ශණ දෙව් මැඳුර ආසිරි ගැන්වීම සදහා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, අභිනව දර්ශණ දෙව් මැඳුර අභියසට පැමිණි අවස්ථාවේ සිට දර්ශණ දෙව් මැඳුර ආසිරි ගන්වා සැදැහැවතුන්ට දර්ශණ දෙව්මැඳුර ඇතුලතට පිවිසීම සදහා ලැබෙන පැයක කාලය අවසන් වන තෙක්, දර්ශණ භූමිය පුරාත්, දර්ශණ දෙව්මැදුර තුලත්, විටින් විට පිච්ච මල් සුවද ද, රෝස මල් සුවද ද, පැතිරෙන බව ඔබට දන්වා සිටින්නේ හද පිරි සතුටිනුයි. හොදින් මතක තබා ගන්න මේ සියල්ලක් සිදුවන්නේ, කිසිදු මනුෂ්‍ය මෙහෙයවීමකින් නොවෙයි, කෙලින්ම ස්වර්ග රාජ්‍යයේ සිට නිර්මල වූ අප දයාබර කන්‍ය මරිය වහන්සේගේම අනුග්‍රහයෙනුයි.

 

කරුණු කාරණා මෙසේනම් නිරවුල්ව සිතා බලන්න, අපට තේරුම් ගත හැක්කේ අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා සවස නිර්මල මරිය තුමියගේ දෑස්, එතුමිය දර්ශණය වූ, එතුමිය පැවසූ ආශාව ඉටු කරන්නාවූ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙතටම යොමුවී ඇති බව නොවේද? එසේනම් ලබන සෙනසුරාදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සෑම සියළු දෙනාව ද, ඔවුන්ගේ සිත තුල නිර්මල මෑණියන් කෙරෙහි ඇති විශ්වාසයේ තරම ද, අප දයාබර නිර්මල කන්‍ය මරියෝත්තමාවන්ට හොදින්ම පෙනෙනවා ස්ථීරමයි.

 

දර්ශණ දෙව් මැදුර තුල ස්ථාපිත, නිර්මල කන්‍ය මරිය තුමියගේ නිල් මැණික් රන් කිරුළින් පිදුම් ලබා ඇති ප්‍රතිමාව, අගෝස්තු 11 වෙනි ලබන සෙනසුරාදා සවස ඔබට දකින්නට ලැබෙන්නේ පැයක කාලයක් පමණයි.

 

කරුණාකර ඔබට දකින්නට ලැබෙන අසිරිමත් සිදුවීම සවිස්තරව, ඔබගේ නම, ලිපිනය සහ දුරකතන අංකය සමගින් අපට ලියා එවන්නත් අමතක කරන්න එපා.

 

ලිපිනය මෙයයි. සිද්ධස්ථාන ලේකම්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, කටුනායක.

 

පහත ඡායාරූපයන්ගෙන් දැක්වෙන්නේ විදෙස් රටවල මරිය තුමියගේ ප්‍රතිමාවන්ගෙන් කදුළු වැගිරුන අවස්ථාවන්ය