නිරෝධායන ඇඳිරි නීතිය පනවලා, සංචරණ සීමා යොදවලා, සියළු මිනිසුන් දැඩි පීඩනයකට හසු වී ඇති කාල සීමාවක සහ ජනතාව තැතිගෙන ඇති මොහොතක, බොහෝ දෙනෙකුට තමන් තනි වී ඇති බවක් දැනෙන බවත්, තවමත් දිනපතා සෑහෙන පිරිසක් මේ වසංගතයට ගොදුරුවෙන අතර තවත් පිරිසක් ජීවිතයෙන් සමු අරගෙන, ටික වේලාවකින්ම අළු වෙන බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පවසනු ලැබුවේ පසුගිය සෙනසුරාදා (2021 සැප්තැම්බර් 11) සවස බැතිමතුන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබූ අවස්ථාවේ දී යි.

 

සූම් තාක්ෂණය ඔස්සේ ජපමාල උච්චාරණය සිදුවූයේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී යි. අලංකාර මලින් සරසනු ලැබූ පූජාසනයක් මත අසිරිමත් කටුනායක දේව මාතා ප්‍රතිමාව ස්ථාපිත කර තිබූ අතර, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒ ඉදිරිපිට සිට කරනු ලැබූ ජපමාල උච්චාරණයට දෙස් විදෙස් බැතිමතුන් තම නිවෙස්වල සිට සූම් තාක්ෂණය ඔස්සේ එම අවස්ථාවට සම්බන්ධ විය.

 

අපොස්තලික මාධ්‍ය ජාලයේ, සමාජ මාධ්‍ය ඒකකය මගින් මෙම විශේෂ අවස්ථාව සංවිධානය කර තිබුණේ, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් පරිදියි.

 

මෙම අවස්ථාවට සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධවීමේ අවස්ථාව ලබා දී තිබුණේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් ඔස්සේ තම ජීවිත හැඩගස්වා ගැනීමට උත්සහ දරමින් ජීවත්වන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට අයත් දෙස් විදෙස් බැතිමතුන් වෙනුවෙනුයි.

 

බැතිමතුන් වෙනුවෙන් දෙව් මවුන් අමතා විශේෂ යැදුමක් ද ඔප්පු කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අවසානයේ අපොස්තලික ශාලාවේ සිට සිය බැතිමතුන් අමතා, මේ වසංගත කාලයට සරිලන ඔවදන් රැසක් ද දැනුවත් කිරීම් රැසක් ද සමගින් ඔවුන්ව ජීවත්වීම සඳහා දිරිමත් කරමින් ආශිර්වාද කල සේක.

 

‛‛අද මිනිස්සු ජීවත් වෙන්නේ හරිම අමාරුවෙන්. මේ දුෂ්කර මොහොතේ, ගෙවල් තුල සිරවී සිටීම, මහා ලොකු අපහසුවක් ලෙසින් සිතන්නට එපා. රෝහල්වල සිරවී, හුස්මත් සිරවී, සුසුම් පොදක් ඉල්ලා දුක් විඳින අසරණ වූවන් ගැන කල්පනා කරන්න. ඔවුන්ට සෙතක් ම වේවා, කියලා උදේ සවස ප්‍රාර්ථනා කරන්න’’ යයි පැවසූ අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, ලොවම නිහක්‍ෂ වී ඇති මේ කාලයේ ඒ නිහක්‍ෂතාවය තුල ඇති ජීවිතයේ යථාර්තය තේරුම් ගන්නට උත්සහ කරන ලෙසත්, හිස් අතින්, ඇස් පියන් මැරිල යන්න, අපි කොච්චර දුක් විඳිනවද කියලා බුද්ධිමත්ව කල්පනා කරන ලෙසත් ඉල්ලා සිටියහ.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ පූජාසනය මත නිර්මල කන්‍ය මරිය මාතාවන්ගේ ආශ්චර්‍යයවත් ප්‍රතිමාව තැන්පත් කර තිබූ අයුරු මෙම ජායාරූප මගින් ඔබට දැකිය හැකි අතර 2021 සැප්තැම්බර් 11 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සූම් තාක්ෂණය ඔස්සේ තම බැතිමතුන් සමග ජපමාලය උච්චාරණය කරනු ලැබූ අවස්ථාවේ දී මෙම ඡායාරූප ලබා ගන්නා ලදී