නිර්මල කන්‍ය මරිය මාතාවෝ 23 වතාවක් දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය අද නිර්මල මරිය තුමියගේ මහා හාස්කම් සිද්ධස්ථානයක් ලෙසින් පොදු මහ ජනතාව අතර ප්‍රචලිත වී ඇත. 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින නිර්මල කන්‍ය මරිය මවු තුමිය 9 වන වරට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශණය වී ප්‍රකාශ කරනු ලැබූ පණිවිඩයේ ප්‍රථම වගන්තිය මෙලෙසින් විය. ‛‛ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිඳුන තැනැත්තිය මමයි. මෙම දේව මෙහෙයන්ට විශ්වාසයෙන් සහභාගි වන අයට ඔබ මගින් දේව වරප්‍රසාද බෙදා දීම මාගේ ආශාවයි’’

 

නිර්මල මරිය තුමියගේ මෙම පණිවිඩයත් සමගම ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් පවත්වනු ලබන දේව මෙහෙයන්ට සහභාගිවන ජනතාවගේ දුක් වේදනාවලට ඔවුන් ලද සහනය ඇත්තටම පුදුමාකාරය. ඔවුන් අතර මේ ජීවිත ගමනේ විවිධ ගැටළු ඉදිරියේ බලාපොරොත්තු සුන් වූවන්, රෝගී වූවන්, අසරණව පීඩා විඳින්නන් ද වේ.

 

සැබවින්ම නිර්මල මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 11 වෙනි දින පැවසූ වදන් අද ද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ඉටුවන අතර, නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙන්නේ ඉතාමත් පුදුමාකාර ප්‍රාතිහාර්යයන් වේ.

 

ජීවිත ගමනේ බලාපොරොත්තු නැතිවී, දුකට වේදනාවට පත්වී, නිර්මල කන්‍ය මරිය තුමිය වෙතින් පිහිට අයදින සියළු දරුවන් වෙනුවෙන්, මෑතක දී ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ලියා දුන් යාච්ඤාව, අද ‛හාස්කම් යාච්ඤාව’ ලෙසින් ජනතාව අතර ප්‍රචලිත වී ඇත්තේ, තම ඉල්ලීම ලිවූ කුඩා ලිපියක් අත තබාගෙන එම යාච්ඤාව උච්චාරණය කර, ඉන්පසු එම කුඩා ලිපිය රතු පෙට්ටියට දැමූ පසුව නිර්මල මරිය තුමියගේ දයාබර බැල්මට එය යොමු වී ජනතාව ලබා ගන්නා අපමණ පිහිට නිසාවෙන්ය, සිදුවන ප්‍රාතිහාර්යයන් නිසාවෙන්ය.

 

නිර්මල කන්‍ය මරිය තුමිය ව විසිතුන් වතාවක් දෑසින් දැකගෙන එතුමිය සමග බොහෝ දේ කතාබස් කල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් ලියා දුන් හාස්කම් යාච්ඤාව 2017 ඔක්තෝබර් 28 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී උච්චාරණය කරනු ලැබූ සැදැහැවතුන් පිරිසක්, ‛‛හාස්කම් යාච්ඤාව’’ දෙව් මවුන් වෙත පුද කිරීමෙන් පසුව, ඔවුන් තම ඉල්ලීම් ලිපි රතු පෙට්ටිය ට දමන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි