තිස් වසරකට ආසන්න කාලයක් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිතව තිබූ, නිර්මල කන්‍ය මරියෝත්තමාවන් වන කටුනායක අප ස්වාමිදූගේ ප්‍රතිමාව 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ ජපමාල සන්ධ්‍යා මෙහෙයෙන් පසුව තාවකාලිකව ඉවත් කරන ලදී. ඊට හේතු වූයේ සිද්ධස්ථානයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිසයි. තාවකාලිකව ඉවත් කෙරුණ දෙව් මවු ප්‍රතිමාව නැවතත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පිළිගැනීම 2016 පෙබ්‍රවාරි 7 වෙනිදා සවස සිදු කරන ලදී.
එම දිනය ඉතාමත් පූජනීය වැදගත් දිනයක් ද විය. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් ඉදිරියේ දර්ශණය වී උන්වහන්සේව අපොස්තුළු තුමෙකු ලෙසට අභිසෙස් ගන්වනු ලැබුවේ ඉන් හරියටම වසර 41 කට පෙර, 1975 පෙබ්‍රවාරි 7 වෙනි දින සවසයි. එමනිසා 2016 පෙබ්‍රවාරි 7 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය අපොස්තුළුවරයේ වසර 41 ක් සම්පූර්ණ කිරීම ද මෙම දිනයේ සිහිපත් කරන ලදී.
ප්‍රථමයෙන්ම දෙව් මවු ප්‍රතිමාව අසලට පැමිණි ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, උන්වහන්සේගේ සුරත ඔසවා දෙව් මවු ප්‍රතිමාව ආශිර්වාද කල අතර, ඉන්පසු මඳ වේලාවක් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ යාච්ඤා කල අතර, උන්වහන්සේ දෙව් මවු ප්‍රතිමාව පාමුළට සිය සුරත තබා සිපාචාර කල සේක.
අනතුරුව සිද්ධස්ථාන දර්ශණ භූමියේ තනා තිබූ අලංකාර පීඨිකාවක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා ජපමාල උච්ඡාරණය ආරම්භ කරනු ලැබුවේ ගීතිකා හඩ මධ්‍යයේයි. විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිද්ධස්ථාන දර්ශණ භූමියේ, දෙව් මවු ප්‍රතිමාව අභියස රැස්ව සිටි සැදැහැවතුන් ද සිය ජපමාල අතට ගෙන ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සමගින් ජපමාලය උච්ඡාරණය කරනු ලැබුවේ දෙව් මවුන් වෙත එසවුණ අප්‍රමාණ බැතියෙනි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගැයෙන පැරණි දෙව් මවු ගීයක් වන ‛‛එදා කුරුස ගසේ ජේසු තුමන් සිටිත්දී’’ නැමැති ගීතිකාව ද එදින මහත් අභිමානවත් ලෙසින් ගායනා කරන ලදී. මෙම ගීතිකාව 1976 අගෝස්තු මාසයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් විසින් ලියන ලද්දකි. තනුව යොදනු ලැබුවේ ද උන්වහන්සේ විසින්මය.
2016 පෙබ්‍රවාරි 7 වෙනිදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් සමගින් සැදැහැවත් බැතිමතුන්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන පුද බිමේ සිට දෙව් මවුන් වෙත ජපමාලය පුද කරනු ලැබූ ආකාරය මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි