උදා වී ඇති තත්වය හමුවේ දැඩි ශෝකයට පත් වී සිටින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, මේ දුෂ්කර වේදනාබර අවස්ථාවේ සාමයේ රාජේශ්වරිය වූ නිර්මල කන්‍ය මරිය මාතාවන් වෙත ජපමාලය ද අතැතිව යොමුවන මෙන් සියළු ක්රිස්තියාණි සහෝදර ජනතාවගෙන් කාරුණික ඉල්ලීමක් කරන්නාහ.
දිනපතා රාත්‍රියේ තම නිවෙස් තුල නිර්මල මරිය මාතාවන්ගේ ප්‍රතිමාව පාමුළ පහනක් දල්වා ජපමාලය ඔප්පු කරන ලෙස ඉල්ලා සිටින උන්වහන්සේ ජපමාලය උච්චාරණය කිරීම අවසානයේ කීමට යාච්ඤාවක් ද ලියා නිකුත් කර ඇත.
ජාති ආගම් භේදයෙන් තොරව සියළු ශ්‍රී ලාංකිකයන් දැඩි කම්පනයටත්, භීතියටත් පත්ව ඇති අවස්ථාවක, අප සැම වෙනුවෙන් පාරට බැස අපගේ ආරක්ෂාව පතා තම දිවි පරදුවට තබා ක්‍රියාකරනු ලබන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ සියළු නිලධාරීන් වෙනුවෙන් යාච්ඤා කරන ලෙසද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා වැඩි දුරටත් ඉල්ලා සිටින සේක.
දිනපතා ජපමාල උච්චාරණය අවසානයේ කීම සදහා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ලියා ඇති යාච්ඤාව මෙසේය.
සාමයේ රාජේශ්වරිය වූ අප දයාබර නිර්මල මෑණියනී ජාති ආගම් භේදයකින් තොරව අපි සියල්ලෝම වේදනාවට පමණක් නොව භීතියටත් කම්පනයටත් පත්ව සිටිමු. අප සියල්ලන්ගේ මෑණියන් වන ඔබ තුමිය වෙත දෑත් ඔසවනවා හැරුණ කොට අප වෙන කුමක් කරන්නද? දයාබර මෑණියනී මේ දුෂ්කර මොහොතේ අපගේ සහයට වැඩිය මැනව. අප සියල්ලන් වෙනුවෙන් ඉදිරියට යන ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ නිලධාරීන් වෙත ද ඔබ තුමියගේ දයාබර නෙත් යොමු කල මැනව. සාමය විනාශ කරනු ලබන බෝම්බ වැනි සියළු භයානක උපකරණ හසුකර ගැනීමට ඔවුන්ට මග පෙන්වා පූර්ණ ධෛර්යය දෙවා වදාල මැනව. සාමයේ කුමාරයාණන් ඉදිරියේ අප වෙනුවෙන් මැදිහත් වූව මැනව, ආමෙන්. (නමෝ මරිය යාච්ඤාව තුන් වරක් කියන්න)