2020 නව අවුරුද්දට ආසිරි පතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලැබූ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජා මෙහෙය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ වූයේ ගෙවී ගිය 2019 දෙසැම්බර් 31 වැනි දින රාත්‍රි 11.45 ටයි. දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි ජනතාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුළත්, සිද්ධස්ථාන භූමියේ ත් රැස්වී සිටිය අතර නව අවුරුදු ආසිරි මංගල දිව්‍ය පූජාව පැවැත්වුණේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුලයි.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නව අවුරුදු උදාවත් සමඟම, එනම් දෙසැම්බර් 31 වැනි දින හරියටම රාත්‍රී 12 ට ප්‍රධාන පූජාසනයේ සිට නව අවුරුදු උදාව දැනුම් දෙමින් සියල්ලන්ට ම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනය කරනු ලැබුවා.

 

වෙනත් කිසිදු අළුත් අවුරුද්දක සිදු නොවූ දෙයක් මෙවර සිදුවුණා. එනම් නව අවුරුදු දිව්‍ය පූජාවෙන් පසුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින්, එදින නව අවුරුදු දිව්‍ය පූජාවට සහභාගි වීම සදහා පැමිණ සිටි සියළුම සියලුම සැදැහැවතුන්ට කිරිබත් කැබැල්ලකින් සංග්‍රහ කිරීමයි. මෙය සියල්ලන්ගේ ම ප්‍රශංසාවට ලක් වුණා. නව අවුරුදු දිව්‍ය පූජාවෙන් පසුව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට පැමිණි ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, උන්වහන්සේගේ දෑතින් ම, සියළුම සැදැහැවතුන්ට, කුඩා පිගානක තැබූ කිරිබත් කැබැල්ලක් සහ ලුණු මිරිස් ටිකක් ප්‍රදානය කරනු ලැබුවේ, ඉතාමත් සිනහමුසු මුහණින් යුතුවයි. උන්වහන්සේ සිය දෝතින් නොව, හදවතින් ම එය සිදු කල බව කාටත් දැනුනේ, උන්වහන්සේගේ මුහුණින් පිළිබිඹු වූ සතුට නිසයි. ඒ සමගම අළුත් අවුරුදු ප්‍රාර්ථනා කරන්නට ද උන්වහන්සේ අමතක කලේ නැහැ. 2020 නව අවුරුද්දේ අළුයම උන්වහන්සේගේ ශුද්ධවූ සුරතින් කිරිබත් කැබැල්ලක රස බලන්නට පැමිණ සිටි සියල්ලන්ටම අවස්ථාව ලැබුනා.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මේ සදහා කල්වේලා ඇතිව කිසිවෙකුගෙන්වත් මුදල් එකතු කලේ නැහැ. මෙම ක්‍රියාව ආරම්භ කරන තෙක්, මේ බව කිසිවෙකුවත් දැන සිටියේත් නැහැ. අඩුම තරමින් සිද්ධස්ථාන පාලක මණ්ඩලයවත් මෙවැන්නක් සැලසුම් කර ඇති බව දැන සිටියේ නැහැ. එහෙත් අප ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මේ සියල්ල රහසිගතව සංවිධානය කර, උදාවූ අළුත් අවුරුද්දේ සැදැහැවතුන්ට යම් විමතියක් උදාකර දෙමින්, සියළු දෙනාටම මේ කිරිබත් ආහාරය ප්‍රධානය කරනු ලැබුවා. බොහෝ දුර සිටි පැමිණි වන්දනාකරුවන් ද සිටි අතර, දීර්ඝ දේව මෙහෙයකින් පසුව, යම් තරමක බඩගින්නේ සිටි සැදැහැවතුන් කාටත් සෑහෙන පරිදි ලැබුණ මේ කිරිබත් සහ ලුණු මිරිස් සංග්‍රය ඒ අවස්ථාවේ ලද අවුරුදු ආහාරයක් ම වුනා. ‛‛ශුද්ධෝත්තම අපොස්තුළුතුමෙනි ඔබවහන්සේ කළ ක්‍රියාව ඇත්තෙන්ම ප්‍රශංසනීයයි’’

 

කවදත් තමන් වෙත පැමිණෙන සියලු සැදැහැවතුන් වෙත පියකු ලෙසින් ආශිර්වාද කරන කිසිවෙකුවත් නොසිතන අවස්ථාවල, නොහිතන දේ කරනු ලබන මේ අපගේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා කරනු ලැබූ මේ ක්‍රියාව ද සැදැහැවතුන්ගේ අමන්දානන්දයට හේතු වුණා. උදාවූ 2020 නව වසර ආරම්භයත් සමගම කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථාන භූමියේ සිට තම ගෙවල් දොරවල් බලා පිටත් වෙන්නටත් කලින්, කිරිබත් කැබැල්ලක් අනුභව කරන්නට අවස්ථාවක් ලැබීම පිළිබදව සියළුම සැදැවතුන් අමන්දානන්දයට පත්ව සිටි අතර ඇතැම් අය කිව්වේ, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ශුද්ධවූ සුරතින් කිරිබත් අනුභව කල නිසා, නැවත ගෙදර ගොස් කිරිබත් උයන්නේ නැති බවයි.

 

මෙහි ඡායාරූපවලින් ඔබ දකින්නේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපෝස්තුළු උයනේ සිට සැදැහැවතුන්ට කිරිබත් කැබැල්ලක් සහ ලුණු මිරිස් ටිකක් සහිත කුඩා පිගානක් ප්‍රදානය කරන අන්දමයි