අති භාග්‍යවත් නිර්මල කන්‍ය මරිය මාතාවෝ 1975 පෙබ්‍රවාරි 5 වෙනි දින ප්‍රථම වරට ශ්‍රී ලංකාවේදී දර්ශණය වූ අතර, 2018 පෙබ්‍රවාරි 5 වෙනි දිනට, මෙම ප්‍රථම දර්ශණය සිදුවී වසර 43 ක් සම්පූර්ණ වෙයි. මේ වන විට මරිය තුමී 23 වාරයක් දර්ශණය වී ඇති අතර, මෙම දර්ශණ දැක ගැනීමේ භාග්‍ය ලැබුවේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ය.

 

මරිය තුමී කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වූ සෑම අවස්ථාවකදීම මුළු ලෝකයා වෙත දැනුම් දීම සඳහා විවිධ පණිවිඩ රැසක් ප්‍රකාශ කලාය. මේ අතර එතුමියගේ ඇතැම් පණිවිඩ දීර්ඝ වචන මාලාවකින් සමන්විත වේ.

 

දිනපතා ජපමාලය උච්චාරණය කිරීමේ අවශ්‍යතාවය එතුමිය පණිවිඩ කීපයකින්ම ප්‍රකාශ කර ඇත. ඊට අමතරව ලොව තම දරුකැල යහ මග ගන්වනු සඳහා ද භාග්‍යවත් කන්‍ය මරිය මාතාවෝ විවිධ පණිවිඩ ප්‍රකාශ කර ඇත්තාහ.

 

1978 ජූලි 1 වෙනිදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී මරිය තුමී දර්ශණය වෙමින්, ‛‛මනුෂ්‍යයා තුල පාපයට ඇති ආශාව එන්ට එන්ටම වැඩිවෙයි’’ කියා ප්‍රකාශ කරනු ලැබුවේ, පාපයට පෙළඹෙන දුර්පරීක්ෂාවන් කෙරෙහි පූර්ණ අවධානයෙන් සිටීමේ වැදගත්කම පෙන්වා දෙමිනි.

 

‛‛තමන් මනස්ථාප වීමට තරම් පවක් නොමැති ශූද්ධවන්තයන් යයි සිතන අයට වඩා, මනස්ථාප වන්නාවූ පවුකරුවන් ගැන මම සන්තෝෂ වෙමි’’ යනුවෙන් මරිය මාතාවෝ 1981 පෙබ්‍රවාරි 6 වෙනිදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට ප්‍රකාශ කරනු ලැබුවේ, මනුෂයා අතින් සිදුවන පාපයන් නිසි අවභෝධයෙන් තේරුම් ගෙන, ඒවා ගැන බැහැපත්ව මනස්ථාප වී, තව දුරටත් පවු නොකිරීම සඳහා හොඳ සිහියෙන් අප සැම කටයුතු කිරීම එතුමියගේ බලාපොරොත්තුව නිසාය.

 

මරිය මාතාවෝ අප සැමට දක්වන මාතෘක සෙනෙහස කෙතරම්දැයි කියනවානම් 1986 දෙසැම්බර් 20 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්ව සිටි අති විශාල සැදැහැවතුන් පිරිසක් මධ්‍යයේ, ඔවුන්ට පුදුමාකාර ආශ්චර්‍යමත් ලකුණු ද දක්වමින්, ඔවුන්ගේ ප්‍රීති ඝෝෂා මධ්‍යයේ ප්‍රකාශකරනු ලැබුවේ, ‛‛දෑසට පමණක් මම නොසිටිනා බව ලෝකයේ දරුවන්ට දැනුනත්, සැමගේම අම්මා ලෙස, සෑම දෙනා දෙස මම බලා සිටිමි’’ කියාය.

 

ශ්‍රී ලංකාවේ, කටුනායක පිහිටි දෙව් මවුන් දර්ශණය වන ‛‛කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය’’ අද සැබවින්ම මරිය මාතාවන් තම දරුවන් දෙස බලා සිටිනා සිද්ධස්ථානයක් බවට පත්වී ඇත.

 

මේ වන විට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ‛මහා හාස්කම් සිද්ධස්ථානය’ ලෙසින් ජනතාව අතරේ හැදින්වීමට පටන්ගෙන ඇත්තේ, නිර්මල මවු මරියාවන්ගේ මැදැහත්කමින් ජනතාව ලබා ගන්නා අප්‍රමාණ පිහිට වරප්‍රසාද නිසාය.

 

නිර්මල කන්‍ය මරිය තුමියව විසිතුන් වතාවක් දැක ගැනීමට සුවිශේෂී වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදටත් අප අතරේ ජීවත්ව සිටින්නාහ. මරිය මවගේ පිහිටාශිර්වාදය පතාගෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණෙන සැම වෙත ජාති ආගම් පක්ෂ පාට ආදී කිසිදු භේදයකින් තොරව මරිය මවගේ සුව සහනය ලබා ගැනීම සදහා උන්වහන්සේ සැමටම ආශිර්වාද කරමින්, මරිය මාතාවන් ඉදිරියේ මැදහත් වන්නාහ.