සුර පුර අග රැජිණ වූ නිර්මල කන්‍ය මරිය මාතාවෝ ඔබත් මමත් ජීවත් වන්නාවූ මේ මහ පොළවට විටින් විට පැමිණ ඇති බව අසා සිටියෙමු. එවැනි ස්ථානයන්හි ඉදිවී ඇති අලංකාර දෙව්මැදුරු දැක ගැනීමට අපි ගියෙමු. යාමට හැකියාවක් නැත්නම් එම දෙව්මැදුරුවල පින්තූරවත් නරඹා සතුටු වුනෙමු.

 

අද නැවතත් සුර පුර අග රැජිණ අප දකින්නට පමණක් නොව අපට දකින්නට ද පැමිණ ඇත. මෙවර එතුමියගේ පා රැදුනේ මේ මහ පොළවේ, ශ්‍රී ලංකාව ලෙසින් නම් කර ඇති භූමි පෙදෙසේ, කටුනායක යනුවෙන් නම් කර ඇති සීමාවේ ය. එහිද, ‛කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය’ ලෙසින් සීමා මායිම් සලකුණු කර ඇති භූමියේ ය. අද එහි අලංකාර දේව මන්දීරයක් ඉදි කර ඇති අතර, එම දේව මන්දීරය තුල නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූයේ කහ පැහැති රෝසමල් මතය, කහ පැහැති රෝස මල් එකක්, දෙකක් මත නොව 123ක් මතය.

 

සෑම සෙනසුරාදාවකම සවස 6 ට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පැවැත්වෙන හාස්කම් යාච්ඤාව උච්චාරණය කිරීමෙන් පසුව දර්ශණ රෝසමල් ඉටිපහන් දැල්වීම සැදැහැවතුන් විසින් සිදු කරනු ලබන්නේ නිර්මල කන්‍ය මරිය මාතාවෝ කහ පැහැයෙන් යුතු රෝස මල් 123 ක් මත වැඩ සිටිමින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණය වීම සමරණු සදහාය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සැදැහැවතුන් මෙලෙස දර්ශණ රෝසමල් ඉටිපහන් දල්වා තනි තනිව යාච්ඤා කරන්නේ නිර්මල මරිය මෑණියන්ගේ ප්‍රතිමාව ඉදිරියේයි. 2017 ඔක්තෝබර් 28 වෙනි සෙනසුරාදා සවස ඉටිපහන් දල්වා යාච්ඤා කරන වැඩිහිටි බැතිමතුන් ද, ඒ අතර කුඩා දරුවන් ද මෙන්ම, ඉටිපහන් දැල්වීම සදහා සැදැහැවතුන් ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට ඇතුළුවන ගේට්ටුව අසල රැස්වී ඇති ආකාරය ද මේ ඡායාරූප මගින් ඔබට පැහැදිලි වනු ඇත