පසුගිය සෙනසුරාදා එනම් 2019 මාර්තු 30 වෙනිදා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල අති විශේෂ දිව්‍ය පූජාවක් අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතින් පුද කරනු ලැබූහ. එම දිව්‍ය පූජා මෙහෙයේ විශේෂත්වය කෙටියෙන් සදහන් කරන්නේ නම් මෙලෙසින් කිව හැකියි.

 

ජාඇල රංග ප්‍රසාද් පෙරේරා සහ සදුනි දිලීකා පෙරේරා යුවල අතිනත් ගනු ලැබුවේ පසුගිය ජනවාරි 17 වෙනි සෙනසුරාදා දින පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ දීයි. පුරා අවුරුදු දහයකටත් වැඩි කාලයක සිට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ දේව මෙහෙයන්ට සහභාගි වෙමින්, උන්වහන්සේගේ දේශනාවලට සවන් දෙමින් තම දිවි ගමන ආලෝකමත් කරගනු ලැබූ මෙම දෙදෙන පසුකාලයේ දැන හදුනාගෙන ආදරයෙන් බැදී ඔවුන්ගේ එකම අපේක්ෂාව වූයේ, ඔවුන් එකිනෙකා දැන හදුනා ගන්නටත් පළමුවෙන් ඔවුන්ට දහම් මග කියා දුන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ සුරතින් ආශිර්වාදය ලබා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරය තුල දී අතිනත ගැනීමටයි.

 

ඒ වන විට දර්ශණ දේව මන්දීරය මුළුමනින්ම ප්‍රතිසංස්කරණය වෙමින් පැවති නිසා, එම කටයුතු නිමාවෙන් පසු තම විවාහ මංගල්‍ය සිදු කිරීම රංග සහ සදුනි ගේ එකම බලාපොරොත්තුව විය. ඔවුන්ගේ එම බලාපොරොත්තුව ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ට ද ඔවුන් දන්වා තිබුණි. වසර පහක් පුරා ඔවුන් එම බලාපොරොත්තුවෙන් පසු වූහ.

 

ප්‍රතිසංස්කරණ කටයුතු නිමවා 2018 අගෝස්තු 11 වෙනි දින අභිනව දර්ශණ දෙව් මැදුර විවෘත කරනු ලැබීය. රංග සහ සදුනි තම විවාහ අපේක්ෂාව අනුව 2019 ජනවාරි මාසයේ තම විවාහයට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ආශිර්වාද මැද කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරයේ දී අතිනත ගැනීමට දිනයන් ද වෙන්කරවාගෙන සියළු සැලසුම් යොදමින් සිටින අතරේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමාණන්ගේ දේශණයකට සවන් දීමට යළිත් වරක් ඔවුන්ට අවස්ථාව ලැබුණි.

 

ඒ 2018 නොවැම්බර් 20 වෙනි දිනයි. එදින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ශුද්ධවූ බයිබලයේ සදහන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ඉගැන්වීමක් මතක් කර දෙමින් ප්‍රකාශ කරනු ලැබුවේ, භෝජන සංග්‍රහයක් පිළියෙල කර හොදට කෑම බීම ඇති ඥාතීන් සහ මිත්‍රයන් සදහා ආහාර පිළිගැන්වීම නොව නිසි ආහාරයක් නොමැතිව සමාජයෙන් කොන් වී සිටින අසරණයන් වෙනුවෙන් එය පිළිගැන්වීම කිතුණු ශ්‍රාවකයන්ගේ වගකීම බවත්, එය ක්‍රිස්තුස්වහන්සේගේ ඉගැන්වීමක් බවත් ය. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විවිධ උදාහරණයන් සමගින් දීර්ඝව මේ පිළිබදව එදින කරුණු පැහැදිලි කරනු ලැබූහ.

 

ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ධර්මදේශණයට සවන් දී සිටි රංග සහ සදුනි ද ධර්මදේශණයෙන් පසු කතිකා කරනු ලැබුවේ ඔවුන්ගේ විවාහ මංගල භෝජනය ද අසරණ වූ පිරිසක් වෙනුවෙන් ප්‍රධානය කිරීමට මගකි.

 

ඒ අනුව ඔවුන්ගේ මෙම පිංවත් බලාපොරොත්තුව මල්ඵල ගන්වමින් රංග සහ සදුනි තරුණ යුවල අතිනත ගනු ලැබුවේ පානදුර, ආලෝකා වැඩිහිටි නිවාසයේ දී පසුගිය ජනවාරි 17 වෙනි දිනය. ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක සිට පානදුර වෙත ගොස්, මෙම වැඩිහිටි නිවාසයේ දී මංගල දේව මෙහෙය පවත්වා නව යුවල අතිනත ගන්වනු ලැබීම ඔවුන් ලද සුවිශේෂී භාග්‍යයකි.

 

රංග සහ සදුනි කලින් සැලසුම් කල සියළු සැලසුම් අවලංගු කර සිය මංගල භෝජනය සූදානම් කරනු ලැබුවේ, තරු පහේ හෝටලයක නොවේ. කන් අඩි පුපුරන මජර සංගීත කරච්චලය මැද නොවේ. දරුවන් විසින් පිටමන් කරන ලද, ජීවිතයේ සැදෑ සමය සුසුමින් කදුලින් යුතුව වැඩිහිටි නිවාසයක දිවි ගෙවන අහිංසක වියපත් දෙමාපියන් රැසක් මැදය. මත් වතුර බෝතල්වලින් තොරව, ඔවුනට ප්‍රණීත ආහාර වේලක් සමග මියුරු සංගීතය ද රසවිදිමින්, තෑගි භෝග ද පිරිනමමින් සිදුවූ මේ විවාහ මංගල්ලයේ දී අතිනත ගත් නව යුවල සමගින් මේ අසරණ මාපියන් වෙත භෝජන සංග්‍රහය පිළිගැන්වීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද එක්වීම විශේෂත්වයකි.

 

තම ධර්මදේශණයට සවන් දී ඒ අනුව කටයුතු කිරීමට තරම් කීකරුව බැහැපත් වූ මේ පින්බර යුවල වන රංග සහ සදුනි වෙනුවෙන් ඔවුන්ගේ පළමු ප්‍රාර්ථනය ද සපුරාලමින් ඔවුන් දෙදෙනා වෙනුවෙන්ම 2019 මාර්තු 30 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය තුලදී දිව්‍ය පූජා මෙහෙයක් පවත්වනු ලැබුවේ ඔවුන් දෙදෙනාට පූජාසනය අසලින් ම ඉදිරි අසුන් ද පනවා දෙමිනි.

 

වැඩිහිටි නිවාසයකට මංගල භෝජනය පිළිගන්වා මංගල ගමන ගිය පින්බර රංග සහ සදුනි යුවල වෙනුවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල දී පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථාවන් කීපයක් ඔබට මෙහි ඡායාරූප මගින් දැකගත හැකියි