අප දයාබරිත නිර්මල කන්‍ය මරිය මාතාවෝ වර්ෂ 1977 ජූලි 27 වෙනි දින, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, පැරණි දර්ශණ දෙව්මැඳුරේදී දසඅට වන වරට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ට දර්ශණය වූහ. එම අවස්ථාවේ නිර්මල කන්‍ය මරිය තුමී, ඇයගේ වම් හස්තයේ කුඩා දිව්‍ය බිළිඳාණන් වඩවාගෙන සිටි අතර, නිර්මල කන්‍ය මරියාවන්, දිව්‍ය බිළිඳාණන් වඩවා ගෙන ශුද්ධෝත්තම අපෝස්තලික පියතුමාණන් ඉදිරියේ වැඩසිටි ආකාරය දැක්වෙන, නිර්මල කන්‍ය මරිය තුමියගේ ශ්‍රී ලංකා දර්ශණයේ, 18 වන අවස්ථාව විදහා දැක්වෙන ප්‍රතිමාව මෙවර නත්තල් මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජාව අවස්ථාවේදී, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාණන්ගේ සුරතින් නිරාවරණය කර ආසිරි ගන්වනු ඇත.

 

සර්වබලධාරී දෙව් මහෝත්තමයාණන් මිනිස් වෙසින් අප අතරට වැඩම කිරීමේ රාත්‍රිය වූ, ජේසු උපන් රැයේදී මේ මහා පූජනීය කර්තව්‍යයට අප අත තබන්නේ, උන්වහන්සේගේ මෑණියන් වූ, කන්‍ය මරියෝත්තමාවන් ද, දිව්‍ය බිළිඳාණන් සිය දෝතට මුල් වරට වඩවා ගනු ලැබුවේ, මෙවැනිම වූ රාත්‍රියක බැවිනුයි.

 

ජේසු උපන් රෑ, මධ්‍යම රාත්‍රී දිව්‍ය පූජා මෙහෙයේදී ආසිරි ගැන්වෙන, කටුනායක අප ස්වාමිදූගේ 18 වන දර්ශණයේ ප්‍රතිමාව, අභිනව දර්ශණ දේවමන්දීරයේ ප්‍රධාන ප්‍රතිමාව ලෙස, ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කෙරෙන අතර අගනා නිල් මැණික් 53 ක් සහිත රත්තරන් ඔටුන්නක් ප්‍රතිමාවේ සිරසට පැළඳවීමට ද නියමිතයි.

 

දෙසැම්බර් 24 වෙනි බ්‍රහස්පතින්දා රාත්‍රී 11.30 ට මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙය ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන අතර, දිව්‍ය පූජාවේ සුරදූත ගීය ගැයෙන අවස්ථාවේ දී, බෙත්ලෙහෙම් ජේසු බිළිඳු ප්‍රතිමාවෙන් ආශිර්වාදය දානය කරනු ඇත.

 

ඉන්පසු නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දේශණයෙන් පසුව, කටුනායක අප ස්වාමිදූගේ දසඅටවන දර්ශණ ප්‍රතිමාව මහත් අභිමානවත් ලෙසින්, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ සුරතින් නිරාවරණය කෙරෙන අතර, අනතුරුව උන්වහන්සේගේ සුරතින් ආශිර්වාද ගැන්වෙනු ඇත.

 

කටුනායක අප ස්වාමිදූගේ දසඅටවන දර්ශණ ප්‍රතිමාව ආසිරි ගැන්වීමෙන් පසුව, නත්තල් දිව්‍ය පූජාවේ ඉතිරි කොටස ආරම්භ වේ.

 

දිව්‍ය පූජාව අවසානයේ, සැදැහැවතුන්ගේ ගෙවල්වල නත්තල් ගවලෙන් සඳහා ජේසු බිළිඳු ප්‍රතිමාවන් ආසිරි ගන්වන අතර, ඉන්පසුව ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් සිය නත්තල් සුභ පැතුම් සමග නත්තල් ආශිර්වාදය සියළු සැදැහැවතුන් වෙත දානය කරනු ඇත.

 

අනතුරුව නත්තල් ගවලෙන වෙත පිටත්ව යන උන්වහන්සේ, ගවලෙන ආශිර්වාද කරනු ඇත.

 

පහත ඡායාරූපයෙන් ඔබට දැකගත හැකි වන්නේ, දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන්ගේ සුරතින් ආශිර්වාද ගැන්වීමට නියමිත, මරිය තුමී ජේසු බිළිඳුන්ව සිය වම් හස්තයෙන් දරාගෙන 1977 ජූලි 27 වෙනි දින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට දර්ශණය වූ ආකාරය පිළිඹිබු කෙරෙන ප්‍රතිමාවයි. (මෙම ප්‍රතිමාව ඔබට පැහැදිලිව දැකගත හැකිවන්නේ දෙසැම්බර් 24 වෙනි දින මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවේ දී ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් ආසිරි ගැන්වීමෙන් පසුවයි. එමනිසා ඡායාරූපය මඳක් බොඳකර ඇති බව කරුණාවෙන් සලකන්න.)