‛‛ක්‍රිස්තියානින්ගේ ජීවිතය බලපුවම ප්‍රිය දරුවෙනි, මේ ජීවිත ගෙවෙන්නේ බෙත්ලෙහෙමත්, කල්වාරියත් ලග බවයි මට පෙනෙන්නේ. නත්තලට, ඒ කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. දැන් අද නත්තල කියලා කියන්නේ ක්‍රිස්තුස් වහන්සේගේ උපන් දිනය නෙවේ, ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරන දිනය. මේ දිනයට මේ ක්‍රිස්තියාණින් කියන කට්ටිය මොකද කරන්නේ? ඔයගොල්ලෝ දන්නවනේ මොකද කරන්නේ කියලා. නත්තලට ක්‍රිස්තුස් වහන්සේගේ උපත සමරමින් ගවලෙන ළඟට යනවා. ඊට පස්සේ තව මාස කිහිපයකින් උන්වහන්සේගේ මරණය සමරමින් කුරුසේ ළඟට යනවා. ගවලෙනයි, කුරුසියයි, ගවලෙනයි, කුරුසියයි, ගවලෙනයි, කුරුසියයි. ඕක තමයි ජීවිතේ. ඕක තමයි ක්‍රිස්තියානිකම. ඕක තමයි කිතුනුකම. ඕක තමයි ක්‍රිස්තු භක්තිකකම.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන් ඉහත සදහන් ප්‍රකාශය කරනු ලැබුවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරයේ දී සිය නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමිනුයි.

 

දර්ශණ දෙව්මැදුර තුලත් සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටි සැදැහැවතුන් අමතා තව දුරටත් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කරනු ලැබුවේ, ක්‍රිස්තියාණින් ක්‍රිස්තුස් වහන්සේගේ ප්‍රතිමාවල, පින්තුරවල, ඇති උන්වහන්සේගේ මුහුණට ‛ශ්‍රී මුහුණ’ යනුවෙන් ප්‍රකාශ කරනු ලබන්නේ, ක්‍රිස්තුස් වහන්සේ ලේ පෙරාගෙන, කටු ඔටුන්නක් දරාගෙන, දත් කඩාගෙන වේදනාවෙන් ඉන්න මුහුණ දැක්කොත් එම මුහුණට පමණක් බවත් ය. එසේනම් මේ ජේසු බිළිදාණන්ගේ මුහුණ, ශ්‍රී මුහුණ නොවන්නේ දැයි ප්‍රශ්ණයක් මතුකල අප ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්, කියා සිටියේ ඉපදුන වේලාවේත් ක්‍රිස්තුස් වහන්සේගේ මුහුණ ශ්‍රී මුහුණ බවත්, උන්වහන්සේ මියයන විටත් එම මුහුණ ශ්‍රී මුහුණ බවත් ය.

 

2018 දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.45 ට නත්තල් දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූ අතර, කුඩා අත දරුවන් ද, තරුණයන් ද, මහළු වයසේ පසුවන්නන් ද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ගේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයට ඉමහත් බැතියෙන් සහභාගි වන අයුරු දැක ගැනීමට හැකි වූ අතර, ඒ මධ්‍යම රාත්‍රියේ ශුද්ධෝත්තම අපොස්තලික පියාණන්ගේ මුවින් නික්මෙන වදන්වලට සවන් දී සිටියේ දැඩි ශ්‍රද්ධාවකිනි.

 

ක්‍රිස්තුස් වහන්සේගේ දහම ඇත්තේ ගවහලත් කල්වාරියත් අතර බව පවසනු ලැබූ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, බොහෝ ක්‍රිස්තියාණින් තම ජීවිතය පුරාවටම ගවහල ලගට දුවගෙන ගොස් ඊලගට කල්වාරිය වෙත දුවගෙන යන බවත්, ඒ අතර ඇති දහම තුල රැදෙන්නේ නැති බවත් ප්‍රකාශ කල සේක. ගවහල ලගට ගොස්, සාන්ත රැයේ නිසසල රැයේ කිය කියා සිට, තවත් දවසක කුරුසිය ලගට ගොස් ‛ජේසුනී අපි ඔබට සැනසීම දෙමු’ යි කිය කියා ජේසුස් ස්වාමින් වහන්සේව රවට්ටන බවත් පවසා, ක්‍රිස්තියාණිකම යනු එයදැයි ප්‍රශ්ණ කල අතර, මේ අයුරින් ගැලවීම ලබන්නේ කෙසේ දැ යි උන්වහන්සේ වැඩිදුරටත් අසා සිටි සේක.

 

ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ ද නිර්මල කන්‍ය මරිය මාතාවන් ද දර්ශණ වූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් විසින් 2018 දෙසැම්බර් 24 වෙනි දින පුද කරනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙයේ දී උන්වහන්සේ විසින් දේශණය පවත්වන ලද අවස්ථාවයි මෙහි ඡායාරූප මගින් ඔබට දකින්නට ලැබෙන්නේ