ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 63 වන ජන්ම දිනය අලලා උන්වහන්සේගේ බැතිමත් අනුගාමිකයන් විසින් සංවිධානය කරනු ලැබූ ජන්ම දින උත්සවය පැවැත්වුනේ 2020 පෙබ්‍රවාරි 2 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී යි. මෙම අවස්ථාවට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් ද සහභාගි වූ අතර මෙහි දී කැපී පෙනෙන විශේෂත්වය වූයේ, උන්වහන්සේගේ බැතිමතුන් විසින් ම රචිත ගීතයන් ගායනය කරනු ලැබීමයි. එම ගීතයන් ද ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ධර්ම දේශනාවන්ට සවන් දුන් බැතිමතුන් විසින් උන්වහන්සේ ඉදිරිපත් කල කරුණු කාරණාවන් ඔස්සේ රචනා කර තිබීම ප්‍රශංසනීය කරුණක්.

 

මුලින්ම ගායනා කරනු ලැබූ ගීතය ලියා තිබුනේ අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා විසිනුයි. මෙම උපන් දින උත්සවයේ නිවේදක මහතාගේ ප්‍රශ්ණයකට පිළිතුරු දෙමින් සශික විෂාන් මහතා සිය පෑන් තුඩින් රචිත ගීතයට පසුබිම් වූ කතාව ඉදිරිපත් කරමින් කියා සිටියේ, 2018 වසරේ දී මෙම ගීතය ඔහු අතින් රචනා වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ධර්ම දේශනාවන්ට සවන් දීමෙන් බවයි.

 

ගීතයේ පසුබිම් කතාව විස්තර කරමින් ඒ මහතා හෙලි කරනු ලැබූ සුවිශේෂී කරුණක් වූයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන් විසින් කලකට පෙර කියනු ලැබූ ඉතා සුවිශේෂී කරුණක් මෙම ගීතයට පාදක වූ බවයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය වයස අවුරුදු අටේ දී ප්‍රකාශ කර තිබුනා, උන්වහන්සේ මේ ලෝකයට පැමිණියේ විශේෂ වැඩකට කියලා. මේ කතාව සශික විෂාන් මහතා දැනගෙන තිබුනේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ජීවත්ව සිටිය දී එතුමියගෙනුයි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා මේ ලෝකයට පැමිණියේ ස්වර්ගයේ තුන්වන ස්ථානයේ සිට බවත්, දෙවෙනි ස්ථානය වෙත යාමට තත්පර කීපයක් තිබිය දී දෙවිදුන් විසින් පවරනු ලැබූ විශේෂ වැඩකට උන්වහන්සේ මේ ලෝකයට පැමිණි බව පසු කාලයක ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලැබූ බවත් පැවසූ අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක සශික විෂාන් මහතා, ඒ කරණු ඔස්සේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ සුවිශේෂී උත්පත්තිය අලලා මෙම ගීතය ලිවූ බව ද කියා සිටියා.

 

මෙම යුගයේ මේ ලෝකයට පහල වූ සුවිශේෂී අධ්‍යාත්මික නායකයකු වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය දේශනයන් වල දී විටින් විට විශ්ව රහස් හෙළි කරනු ලබන අතර, උන්වහන්සේ හෙළිදරව් කරනු ලැබූ එවැනි විශ්ව රහස් කීපයක් ද මෙම ගීතයට ඇතුළත් කර ඇති බව පැවසූ සශික විෂාන් මහතා එවැනි කරුණු පාදක කර ගෙන ‛උතුමෙක් මේ ලෝ ඉපදිලා’ නමැති මේ ගීතය ලිවූ බව වැඩිදුරටත් පවසනු ලැබුවා.

 

මෙම ගීතයේ තනු නිර්මාණය කල සහ මෙම උත්සවයේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමාණන් ඉදිරිපිට ගීතය ගායනා කල, ප්‍රවීන ගායන ශිල්පී සංඛ දිනෙත් මහතා ගීතය ගායනය කිරීමට පෙර ප්‍රකාශයක් කරමින් පවසනු ලැබුවේ, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් පිළිබදව බොහෝ දේ දැනගන්නට ලැබුණ බවත්, නමුත් සියැසින් ම ඔහු උන්වහන්සේව දුටුවේ මෙදින බවත්, දැනගන්නට ලැබුන සියළු කරුණුවලින් ඔහුගේ සිත තුල ඇති වූයේ ධනාත්මක සිතුවිල්ලක් බවත් ය. ඒ ධනාත්මක සිතුවිලි ඔස්සේ යම්කිසි විශේෂ කෙනෙක් මේ ලෝකයට එනවිට, මේ ලෝකයට දැනෙන සතුට සොම්නස ප්‍රීතිය පෘතක්ජන පුද්ගයකු හැටියට තමන්ට දැනුන ආකාරය මේ ගීතය ඔස්සේ සංගීතයෙන් පිටතට ගැනීම සදහා මෙම ගීතයේ තනු නිර්මාණය කල බව ද වැඩි දුරටත් පවසනු ලැබුවා.

 

සංඛ දිනෙත් මහතාගේ තනු නිර්මාණයෙන් සංගීතවත් වූ, සශික විෂාන් මහතාගේ පද රචනය වූ ‛උතුමෙක් මේ ලෝ ඉපදිලා’ ගීතයේ පද වැලයි මේ.

 

ඉපදිලා ඉපදිලා උතුමෙක් අද මේ ලෝ ඉපදිලා

කැලඹිලා කැලඹිලා අඳුරේ තිබු විශ්වයම කැලඹිලා

තුටු වෙලා තුටු වෙලා මුළු ලෝ මනු සතුන් තුටු වෙලා

නැගිටලා නැගිටලා සඟවපු දෙව් දහම නැගිටලා

 

එන්නට නොපැතූ ගමනක් දෙවිඳුන් කිව් මඟ ඔස්සේ

ඝන අඳුරින් වෙළුනාවු සමිඳුන් නොහදුන මේ මනු ලෝකේ

නොනිමෙන හිරු සේ අපෝස්තුළුවරයේ දිදුලන මිණි කිරුල දරා

දෙවිඳුගේ ධර්මය තුල අප සඳහට ජිවත් කලේ, ඔබයි පියේ

 

සාතන්ගේ මරු පහරින් ඉසිරී විසුරුන මිනිසුන් වෙත

මුළු ලොව හට ඔබ-දුටු දෙව් මව්, සිහිලස නොමදව බෙදමින්

එතුමිය අග රැජිණිය කර, අප ඇගේ සළු සෙවනේ තබා

නිමල මවුන් පිළිසරණට මං සලකුණු කිව්වේ ඔබයි පියේ

 

මේ ලොව සොයනා ආසියාවේ සැඟවුන මුතුව ඔබ නොවෙදෝ

මේ ලොව වසනා සත්‍ය-ධර්මයේ හිමි කරුවා ඔබ නොවෙදෝ

දෙවි පුතු හා නිමල මවුන් දැක දෙඩුවේ ඔබ මුව නොවෙදෝ

එගුණ වනන්ට ඔබ සැතපෙන සොහොනේ මල් පිපුනාවේදෝ

 

ඉපදිලා ඉපදිලා උත්තමයෙක් අද මේ ලෝ ඉපදිලා

කැලඹිලා කැලඹිලා අඳුරේ තිබු විශ්වයම කැලඹිලා

තුටු වෙලා තුටු වෙලා ලෝ මනු සතුන් තුටු වෙලා

නැගිටලා නැගිටලා සඟවපු දෙව් දහම නැගිටලා

 

ගීත රචක, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා සිය ගීතයේ පසුබිම් කතාව විස්තර කල ආකාරයත්, තනු නිමැයූ සංඛ දිනෙත් මහතා ගීතය ගායනය කල ආකාරයත්, මේ සියල්ලකට සවන් දෙමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සන්සුන්ව බලාසිටින ආකාරයත් මේ ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි