ශ්‍රී ලංකාවේදී නිර්මල කන්‍ය මරිය මාතාවන්  දර්ශණය වූ ප්‍රථම සහ  එකම සිද්ධස්ථානය වන කටුනාක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දෙව්මැඳුර සහ ඒ ආශ්‍රීත භූමි පෙදෙස මුළුමනින්ම සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙල දැනටමත් ආරම්භ වී ඇති අතර, ඒ සඳහා අවශ්‍යතාවයක් වී ඇති, සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමේදී සිදුකල යුතු විශේෂ නව දින පිළිවෙතක් පිළිබඳව, පසුගිය ඉරුදින අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම 14 වන අපොස්තුළු තුමන් වෙත, දේව දූතයකු මගින් නිර්මල කන්‍ය මරිය තුමී අති විශේෂ පණිවිඩයක් එවා ඇති බව, අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා ජූලි 23 වෙනි බදාදා අපොස්තලික මාධ්‍ය වෙත ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛මෙයින් අදහස් කරන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමට හැකියාවක් නොමැති බවක්දැ’යි අප ඒ මහතාගෙන් ඇසූ පැනයට පිළිතුර වූයේ, ‛නැහැ, එහෙම දෙයක් නෙමෙයි. දෙව් මවු ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර සිදුකල යුතු නවදින පිළිවෙතක් දෙව් මවුන් විසින් දන්වා තිබෙනවා. ඒ පිළිබඳව සියළුම විස්තර ජූලි 27 වෙනි සෙනසුරාදා සවස සැදැහැවතුන්ට ප්‍රකාශ කරනු ලබනවා. බොහෝ දුරට ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විසින්ම මේ තොරතුරු සැදැහැවතුන්ට විස්තර කරයි. සත්තකින්ම අපගේ ක්‍රියාවලිය ගැන දෙව් මවුන් ද අප සමග එක්වීම නිසා දැන් අපට ඇත්තේ විශාල සතුටක්. මේ දෙව් මවු ප්‍රතිමාව ඉවත් කරන්නේ, කඩා බිඳ දැමීමට නොවෙයි, වඩා උසස් ස්ථානයක අභිමානවත් ලෙස ස්ථාපිත කිරීමටයි.’