‛‛මනුෂ්‍ය ආත්මයක් ලබා ගන්න එක බෝහෝම ශ්‍රේෂ්ඨය, ඒ වගේම හරිම අමාරු වැඩක්. මේ ලෝකයට හැම දවසකම, හැම පැයකම, හැම විනාඩියකම, හැම තත්පරයකම මිනිසුන් බිහි වෙනවා. මිනිසාත් සත්වයෙක්. අපේ ජීවිතය පිනට ලැදිව, පාපයට භයව, ධර්මයට අනුව, ධර්මානුකූලව ජීවත් උනොත් අපේම මනුෂ්‍ය ජීවිතය ගැන අපිට සන්තෝෂ වෙන්න පුළුවන්. අප ලැබූ මනුෂ්‍ය ජීවිතයේ වටිනාකම අපි කවුරුත් අවබෝධ කරගන්නට ඕනා.’’

 

යමෙක් මනුෂ්‍ය ආත්මයක් ලැබීමේ උතුම්කම හා මනුෂ්‍යයන්ට එය නොවැටහීම පිළිබඳවත්, මනුෂ්‍ය ආත්මයක් ලැබූ කෙනෙක් පවට බියෙන්, පිනට ලැදිව ධර්මයට අනුකූලව තම ජීවිතය ගොඩනගා ගත යුතු බවත් පැහැදිලි කරමින් අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ උන්වහන්සේගේ 57 වන ජන්ම සංවත්සර දිව්‍ය පූජාවේ දේශණයේදීයි.

 

උපදින හැම කෙනෙකුටම මරණය ස්ථීර බවත් ඊට කිසිදු ආකාරයක ආගම්, ජාති, කුල භේද නොමැති බවත් පැහැදිලි කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛මරණයට ආගම් භේද නැහැ, ජාති භේද නැහැ, කුල භේද නැහැ, අපියි මේ භේද ඇති කරගෙන තියෙන්නේ. කෙනෙක්ගේ උපතක් සිදුවන්නේ එක්තරා සැලසුමකටයි. අද මගේ උපන් දිනය නිසා, මරණය ගැන කථා කරන්න මේක හොඳම අවස්ථාවක්, මොකද ඉපදෙන හැම කෙනාටම මරණය හිමියි. මම ඇත්ත කියන්නම්, කෙනෙකුගේ ජීවිතයේ අවසාන මොහොතේ, ඒ කියන්නේ මරණය අවස්ථාවේදී, එනම් මරණ මංචකයේදී, තමුන්ට පෙනෙන්න ගන්නවා තමන් ඊළඟට ඉපදෙන ස්ථානය. හොඳටම පිං රැස්කරපු අයට පුදුම සතුටක් දැනෙනවා. තමුන්ට ලැබී ඇති මේ ජීවිතය තුල පුළුවන් තරම් පිං රැස්කරන්න, අන් අයට යහපත කරන්න. අපි හැමෝටම මරණය හිමියි. මේකට අපි මුහුණ දිය යුතුයි. මම මේ කියන දේ හරිද වැරදිද කියලා ඔයගොල්ලෝ කල්පනා කරල බලන්න. කාටවත් ඔබ වෙත ඇඟිල්ලක් දික් කරන්න බැරිවෙන ආකාරයට, පිං කරන්න, පව් කරන්න එපා.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ 57 වන උපන් දින සංවත්සරය වෙනුවෙන් පුද දෙනු ලැබූ මංගල දිව්‍ය පූජා මෙහෙය ආරම්භ වූයේ 2014 පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ටයි. උන්වහන්සේ උපත ලැබුවේ පනස් සත් වසරකට පෙර පෙබ්‍රවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 ට බැවින්, උන්වහන්සේගේ 57 වන උපන්දින සංවත්සරය පෙබ්‍රවාරි 1 වෙනිදා මධ්‍යම රාත්‍රියේ පැවැත්වීමට සිද්ධස්ථාන පාලක කමිටුව සියළු විධි විධාන යොදා තිබුණා.

 

මැදියම් රැය ද නොතකා විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ඇදී ආ ජනතාවගේ සහභාගිත්වයෙන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී මංගල දිව්‍ය පූජාව සිදු කරනු ලැබූ අතර, එදින මැදියම් රැයේ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දේශණයේ පසුබිම වූයේ, උපත, ජීවිතය, මරණය සහ මරණයෙන් පසු ජීවිතය පිළිබඳවයි.

 

කෙනෙකුගේ මරණය අවස්ථාවේදී එම තැනැත්තා ජීවිතය ගත කලා වූ කාලයේදී සිදු කල පවු හා පිං මත එම තැනැත්තා, ඊළඟට ලබා ගන්නා ස්ථානය ඔහුට අවබෝධ වන බව ඉතාමත් පැහැදිලිව තේරුම් කර දුන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා, ජීවිතය ගත කරන විට, පිං කල අය, මරණය මොහොතේදී බොහෝම සුන්දර මරණයක් ලබන අතර පාපිවු ජීවිතයක් ගත කල අය, බොහෝම බිය ගෙන දෙන මරණයක් ලබන බවත්, ඒ වගේම එවැන්නන්ගේ මෘත ශරීරයෙන් පවා එම තත්වය පෙනෙන බවත් තේරුම් කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා විස්තර කර දුන්නේ, තමන් ජීවත් වන කාලයේදී, පසුවට පසුතැවෙන දේවල් සිදු නොකිරීම සියළුම මනුෂ්‍යයන්ගේ වගකීම බව හා පවට භයව පිනට නැඹුරුව ජීවත් වීමට සියලු මනුෂ්‍යයන් අධිෂ්ඨාන කර ගත යුතු බව යි.

 

තම උපන් දින මංගල දිව්‍ය පූජාවට සහභාගි වීමට විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රොක්වී සිටි බැතිබර ජනතාව අමතා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛ඇත්තටම ජීවිතයේ උපතේ සිට, මරණය දක්වා තමන් ජීවත් වූ කාලය තුල තමන් ධර්මානුකූලව ජීවත් වූයේ නම්, තමන්ගේ මරණය අවස්ථාවේදී භය නැතිව තමුන්ට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් එවැනි තත්වයක් ඇති කර ගන්න, ඔබ අදම අධිෂ්ඨාන කර ගන්න. ඔබ ධර්මය අනුව පින්වන්තව ජීවත් වූවා නම් ඔබගේ මරණය අවස්ථාවේදී සන්තෝෂයෙන් මරණයට මුහුණ දෙන්න පුළුවන්. ඔබ කරන කියන දේ අනුවයි, ඔබගේ ඊළඟ ආත්මය කොයි වගේද කියල තීරණය වෙන්නේ. ඔබ වැරදි මඟක යන්නේ නම් දැනටමත් කාලය තිබෙනවා ඔබගේ අඩුපාඩු හදා ගන්න, නිතරම හොඳ කරන්න, පව් කරන්න එපා, පිං කරන්න, පිං සිතුවිලි සිතේ ඇතිකරගන්න, එවිට ඔබගේ ජීවිතය සාර්ථක වේවි.

 

මෙන්න මේක තමයි අපි ජීවත් විය යුතු ක්‍රම වේදය, අපි දේවල් කරන්න ඕන, පස්සේ ඒවා ගැන කල්පනා කරල සතුටු වෙන්න, ප්‍රීතිවෙන්න පුළුවන් විදිහටයි. පස්සේ අක්‍ෂන්න සිද්ධවෙන දේවල් කවදාක්වත් කරන්න එපා. තමුන් කරන කියන දේවල් බොහෝම හොඳට කල්පනා කරල කරන්න ඕන. ඔබ කරපු කියපු දේවල් තමයි යම් දවසක ඔබගේ මරණය අවස්ථාවේදී ඔබගේ මතකයට එන්නේ.

 

ඔබට මේ ලැබී ඇති මනුෂ්‍ය ජීවිතය බෝහෝම දුර්ලභ අවස්ථාවක්, ඔබ බිහිවු වේලාවේම සත්තුත් බිහිවෙන්න ඇති, ඒ වේලාවේම තවත් මිනිස්සුත් බිහිවෙන්න ඇති, ඇත්තෙන්ම ඒ අය අතරින් ඇස් පෙනෙන්නේ නැති, අංග විකලව කන් ඇහෙන්නේ නැති, කොර ගහන, සදාකාලිකව අබ්බගාත අයත් ඉපදෙන්න ඇති. ඇත්තෙන්ම ඔබ පිං පව් ගැන තේරුම් ගන්න පුළුවන් විදිහට, මනුෂ්‍යයෙක් හැටියට ඉපදිලා තියෙනවා. ඒ ගැන සන්තෝෂ වෙලා, දෙවියන්ට ස්තුතියි කියන්න. සන්තෝ්ෂයෙන්, සතුටින් ඔබ ලබා ගත්තු උත්පත්තියට ස්තුති වේවා කියල ජීවිතය හමාර කිරීමට අධිෂ්ඨාන කරගන්න ඒකයි අද දවසේ මගේ පණිවිඩය.’’

 

කෙනෙකුගේ උපතට හා මරණයට ආගම්, ජාති, කුල, පක්ෂ, දුප්පත් පොහොසත් භේදයක් බලපාන්නේ නැති අතර වැදගත් වන එකම දේ ඔහුගේ ජීවිත සමයේදී ඔහු රැස් කරගත් පිං සහ පවු පමණක් බව සිය දේශණයෙන් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා බැතිමතුන් වෙත කරනු ලැබූ පැහැදිලි කිරීම ආගම් භේදයෙන් තොරව රැස්ව සිටි සැමගේ අවධායට ලක් විය.

 

මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා සිය 57 වන ජන්ම දින දිව්‍ය පූජාවේ දී දේශණය පවත්වනු ලැබූ ආකාරයත්, දිව්‍ය පූජාව අවසානයේ උන්වහන්සේ විසින් ජනතාවට අපොස්තලික ආශිර්වාදය දානය කරනු ලැබූ ආකාරයත්ය