‛‛කොත්තු කාපු මිනිස්සුන්ට අද කොත්තු නැතුව ගෙදර හදන කෑම කන්න වෙලා. රයිස් කාපු මිනුස්සුන්ට අද රයිස් නැතුව ගෙදර හදන කෑම කන්න වෙලා. කෝ දැන් කොත්තු, කෝ දැන් රයිස්? දැන් මිනිස්සුත් දන්නවා එයාලට කොත්තු, රයිස් නැතුව කන්න පුළුවන් කියලා. එක එක රසකාරක අඩංගු පැණි බීම නැතුව කෑම කන්න බැරි වූ අය දැන් දන්නවා, පිරිසුදු වතුර ටිකක් බීලා කෑම කන්න පුළුවන් කියලා. එක එක කඩවලින් විකුණන කෑම කන්නෙ නැතුව ගෙදර උයන කෑම කාලා ජීවත් වෙන්න පුළුවන් බව මේ වසංගතය උගන්වලා තියෙනවා. දරුවනුත් දැන් අම්මා ආදරයෙන් හදන කෑම කන්න පුරුදු වෙලා. ඔය පුරුද්ද දිගටම තිබුණොත් කොච්චර හොදද?’’

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අපොස්තලික ශාලාවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ බැතිමතුන් කණ්ඩායමක් අමතමින් 2021 මැයි 30 වෙනි ඉරුදින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමෝ ඉහත සදහන් ප්‍රකාශය කරනු ලැබූහ.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සියළු අවශ්‍යතාවයන් සොයා බලමින් එම කටයුතු සදහා දායකත්වය දක්වන බැතිමතුන් කණ්ඩායම සෑම මාසයක අවසානයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව සමුවීම සිරිතකි. එහෙත් මේ දිනවල පැතිරී ඇති වසංගතය නිසා දිවයින පුරා සංචරණ සීමා පනවා ඇති බැවින් මෙම රැස්වීම සූම් තාක්ෂණය ඔස්සේ පවත්වනු ලැබූ අතර, බැතිමතුන් තම නිවෙස්වල සිට ඊට සම්බන්ධ විය.

 

අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් පරිදි, අපොස්තලික මාධ්‍ය ජාලයේ නිලධාරීන් මෙම අවස්ථාව ක්‍රමවත්ව සංවිධානය කර තිබූ අතර, බැතිමතුන් සමග සම්බන්ධතා පවත්වමින් මෙම අවස්ථාව සම්බන්ධීකරණය කරනු ලැබුවේ අපොස්තලික මාධ්‍ය ජාලයේ සුරේන් චතුරංග ප්‍රනාන්දු මහතා විසිනුයි.

 

‛‛හැදෙනවානම්, හැදෙන්න හැකි පාඩම් රැසක්ම මේ වසංගත කාලය මිනිසුන්ට උගන්වලා තියෙනවා. මම දන්නවා සමහර මිනිස්සු ඉන්නවා, සවසට මත්වතුර ටිකක් කටට හලා ගත්තේ නැත්නම් කන්න විතරක් නෙමෙයි ජීවත් වෙන්නත් බැහැ. දැන් මොකද වෙලා තියෙන්නේ බාර් වහලා, හොර මත්වතුර ගන්න එළියට බහින්නත් බැහැ. ඉතින් ඒ මිනිස්සු දැන් මැරිලද? වෙනදටත් වඩා අගේට දැන් මත්වතුර නැතිව ඉන්නවා. නමුත් මම දන්නවා එක දවසකට නෙමෙයි, එක පැයකට සංචරණ සීමා ඉවත් කරලා බාර් විවෘත කලොත්, නැවත පන්සීයේ කොල දාහේ කොල අතේ තියාගෙන බාර් ඉදිරිපිට පෝලිමේ ඉන්නවා. මම ආදරයෙන් ඉල්ලා සිටිනවා, මේ දිනවල මත්වතුර නැති නිසා මොලේ නහර මත් නොවී පිරිසිදුව වැඩ කරන නිසා කල්පනා කරලා බලන්න, නිරපරාදේ මත්වතුරට මුදල් වියදම් කලේ අපරාදයේ නොවේද කියලා’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එලෙස ද ප්‍රකාශ කරමින් තවත් අවවාද රැසක් කරනු ලැබූහ.

 

වෙනත් දිනවල මෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ව දැක ගැනීමට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණීමට මේ දිනවල අවකාශයක් නැති අතර, මෙලෙසින් නිවසේ සිට සජීවීව උන්වහන්සේව දැකගෙන, උන්වහන්සේට සවන් දීමට අවස්ථාවක් ලැබීම පිළිබදව බැතිමතුන් කණ්ඩායම ඉමහත් සතුටට පත් වී සිටියහ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද සුපුරුදු හාස්‍ය රසය මුසු කරමින්, සිය බැතිමතුන් පිරිසට මානසිකව සහනයක් ද වෙමින් හෝරා කීපයක් ම ඔවුන් සමග ගත කලහ. රැස්වීම ආරම්භ කරමින්, ‛‛එදා ලග සිට දුටුව ඔබ නොව, මෙදා දුර සිට මා දකින්නේ’’ යයි පැවසුවේ සියල්ලන්ටම සතුට සිනහව ගෙන දෙමිනුයි. මේ දිනවල ගෙදරටම කොටු වී සිටින මේ බැතිමතුන් පිරිසට, ආදර පියෙකු ලෙස හාස්‍යය ද මුසු කරමින් දුන්නා වූ අවවාද සැමගේ ගෞරවාන්විත ප්‍රශංසාවට හේතු විය.

 

2019 වසරේ මුල දී ම සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මාසික රැස්වීම්වල දී යහපත් සෞඛ්‍ය සදහා විවිධ අවවාදයන් දීමට ආරම්භ කරනු ලැබුවත් ඒවා 2020 වසරේ සිට ප්‍රයොජනවත් වේ යයි බැතිමතුන් දැන නොසිටියත්, ඔවුන් ඒ සෞඛ්‍ය උපදෙස් පිළිපැදීමට ආරම්භ කරනු ලැබූහ. සියළු දෙනාම තම තමන්ගේ ශරීරයන්හි ප්‍රතිශක්තිය නංවා ගැනීම සදහා වහාම කටයුතු කරන්නැ යි පැවසූ උන්වහන්සේ, වස විස සහිත ආහාර වර්ගකර පෙන්වා දෙමින්, දේශීය ඖෂධ පානය කිරීමට උපදෙස් දුන්නේ ඒ සදහා පහසු දිනයන් ද පෙන්වා දෙමිනුයි. මේ මහා ව්‍යසනය ගැන කිසිවක් නොකියා, ලෝකයට ම බලපාන මේ ව්‍යසනයට මුහුණ දීමට, උන්වහන්සේගේ වචන අසා ඒවා කෙරෙහි විශ්වාසය තබා ජීවත්වන තම බැතිමතුන්ට අවවාද රැසක් දී ඔවුන්ව සූදානම් කරනු ලැබුවේ, ‛සෞඛ්‍ය පාඩම’ යනුවෙන් උන්වහන්සේ ම නම් තැබූ විශේෂ කාලයක්, මාසික රැස්වීම් තුල යොදා ගනිමිනුයි. බොහෝ බැතිමතුන් මේ සෞඛ්‍ය ඉගැන්වීම් සටහන් කර ගැනීමට ද පෙළඹී සිටිනු දක්නට ලැබුණි.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා 2021 මැයි 30 වෙනි ඉරුදින සවස, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික ශාලවේ සිට සූම් තාක්ෂණය ඔස්සේ තම බැතිමතුන් පිරිසක් අමතනු ලැබූ අවස්ථාව මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.