ශ්‍රී ලංකාවේ දී නිර්මල කන්‍ය මරිය මාතාවන් දර්ශණය වූ එකම සිද්ධස්ථානය වන්නේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. මෙම සිද්ධස්ථානයේ දර්ශණ දේව මන්දීරය තුල ජන්ම දෝෂයෙන් නිර්දෝෂව පිළිසිදුණු කන්‍ය මරිය මාතාවෝ 23 වාරයක් දර්ශනය වී තිබෙන බව නොරහසකි. මෙම දර්ශනයන් 23 ම සිදුවී ඇත්තේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් ඉදිරිපිටදී වීම හා උන්වහන්සේ අදටත් අප අතර ජීවත් වීම අතිශයින් සුවිශේෂී වන අතර ඒ සෑම අවස්ථාවකදීම නිර්මල කන්‍ය මරිය මාතාවන් විසින් ලෝකයට ප්‍රකාශ කිරීම සදහා විවිධ පණිවිඩ රාශියක් ද ශුද්ධෝත්තම අපොස්තළුතුමන් හට ප්‍රකාශ කර ඇත්තාහ.

 

පෙර සදහන් කළ පරිදි, නිර්මල කන්‍ය මරිය මාතාවෝ කහ පැහැති රෝසමල් එකසිය විසි තුනක් මත මෙම දර්ශණ දෙව්මැදුර තුලදී, විසි තුන් වතාවක් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ඉදිරියේ දර්ශනය වී තිබේ. එම දර්ශණ විසිතුන අතරින් දස අට වන දර්ශනය සුවිශේෂිත වන්නේ, අනෙක් සෑම දර්ශනයකදීම ඕතුමී ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට දර්ශනය වී ඇත්තේ තනිවම වූවත්, දසඅට වෙනි දර්ශණයේදී නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිදුන්ව සිය වම් හස්තයේ රැගෙන දර්ශණය වීම නිසාවෙනි. මෙය සිදු වූයේ දැනට වසර හතලිස් තුනකට පෙර, එනම් 1977 ජූලි 27 වෙනි දිනයි. මෙම අවස්ථාව විදහා දැක්වෙන දෙව් මවුන්ගේ ප්‍රතිමාව දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන පූජාසනයට ඉහලින්, දර්ශණය සිදුවූ ස්ථානයේ ස්ථාපිත කර ඇත.

 

මෙම දසඅට වෙනි දර්ශණයට හරියටම වසර හතලිස් දෙකක් සපිරි පසුගිය 2019 වර්ෂයේ ජූලි මස 27 වෙනිදා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී සුවිශේෂී සිදු වීමක් සිදු විය. එනම් ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් සුර ලොව අග රුජිණිය, එතුමියගේ ස්වර්ගීය සුගන්ධය මහත් ප්‍රබල ලෙස කටුනායක අප ස්වාමිදූගේ දර්ශණ දෙව් මැදුර තුලද, සිද්ධස්ථාන භූමියේද, ශුද්ධවූ පේදුරු හා පාවුළු අපොස්තුළුතුමන්ලාට කැප කර ඇති උයනේ ද පමණක් නොව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් පිටත ප්‍රධාන මාර්ගයේ වම් පැත්තට හා දකුණු පැත්තට මීටර සියයක් පමණ දුරට දැනෙන සේ විහිදී විසිරි යන්නට සැලැස්වීමයි. සිරිත් පරිදි එදින සෙනසුරාදා සවස දිවයිනේ සතර කොනින් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ සිටි සියළුම බැතිමතුන් මේ සදහා සාක්ෂිකරුවන්ය.

 

දෙනෝදාහකගේ ඇස් ඉදිරිපිට ම සිදුවූ මෙම අති අමරණීය හාස්කම සිදුවීමෙන් පසු දින එනම් 2019 ජූලි 28 වෙනි ඉරුදින සවස බැතිමතුන් පිරිසක් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විශේෂ ප්‍රකාශයක් කරමින් පවසනු ලැබුවේ, ‛‛ඇත්තටම මෙය මහා විස්මයක්, මරිය තුමියගේ සුවිශේෂී ප්‍රාතිහාර්‍යයක් බවයි.’’

 

1977 ජූලි 27 වෙනි දින නිර්මල කන්‍ය මරිය මාතාවෝ ජේසු බිළිදාණන් සිය වම් හස්තයේ දරාගෙන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ පෙනී සිටි ආකාරය සිහිපත් කරමින් උන්වහන්සේ එම අසිරිමත් දසුන මෙසේ විස්තර කල සේක.

 

‛‛දර්ශණ දෙව්මැදුර තුල ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කර ඇති, ජේසු බිළිදුන් සිය වම් හස්තයේ රඳවා ගෙන වැඩ සිටින අප නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව, දර්ශණ දෙව් මැදුරේ ස්ථාපිත ප්‍රධාන ප්‍රතිමාවයි. එම ප්‍රතිමාවෙන් ඔයගොල්ලෝ සියළු දෙනාටම සිහි ගන්වන්නේ නිර්මල කන්‍ය මරිය තුමිය දසඅට වන වරට මා ඉදිරියේ දර්ශණය වූ විලාශයයි. එම දර්ශණය සිදුවුනේ 1977 ජූලි 27 වෙනි දා. හරියටම අවුරුදු හතලිස් දෙකකට ප්‍රථමයෙන්. මේ වන විට නිර්මල කන්‍ය මරිය මාතාවෝ විසිතුන් වතාවක් මා ඉදිරියේ දර්ශණය වී තිබෙනවා. 1977 ජූලි 27 වෙනි දා එතුමිය මා ඉදිරියේ දර්ශණය වුනේ ජේසු බිළිදුන් ද අත ඇතිවයි. අනික් සියළු දර්ශණ සිදුවුනේ එතුමිය තනිවයි. කහ පැහැති රෝසමල් මත, හිසේ සිට පාදයන් හි විළුඹ දක්වා දිග හිම මෙන් බබලන සුදු පැහැති වේල් එකක් පැළඳ ගෙන, එවැනිම හිම මෙන් සුදු පැහැයෙන් යුතු ලෝගුවක් පැළඳගෙන, පැහැයෙන් අහසේ නිල් පැහැයෙන් යුතු, නමුත් හිම මෙන් බබලන නිල් පැහැති බඳ පටියක් පලඳා, දකුණු අතේ වැලමිට හරියෙන් රත්තරන් පාට බැබලෙන ජපමාලයක් දරාගෙන තමයි එතුමිය මා ඉදිරියේ පෙනී සිටින්නේ. නමුත් 1977 ජූලි 27 වෙනි දිනත් එතුමිය මා ඉදිරියේ එලෙස පෙනී සිටියත්, මේ වනතුරු එදින පමණක් විශේෂත්වයක් තිබුණා. එතුමියගේ වම් හස්තයේ කුඩා ජේසු බිළිදාණන් සිටියා.’’

 

මෙම 2020 ඔක්තෝම්බර් මස තුන් වන සෙනසුරාදා සවස සියළු කටයුතු සුදානම්ව පැවතියේ කටුනායක අප ස්වාමිදූ වෙත ජපමාලය උච්චාරණය කිරීම සදහාය. මේ අවස්ථාවෙි දී, අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ මගපෙන්වීම පරිදි, අපොස්තලික මාධ්‍ය ජාලයේ ප්‍රවීන් ශානක මහතා හදිස්සියේ ම සැදැහැවතුන් ඉදිරියට පැමිණ නිවේදනය කර සිටියේ, 2019 ජූලි මස 27 වෙනිදා සේම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දෙව්මැදුරේ ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුගන්ධය පැතිරීමට ආරම්භ වී ඇති බවයි. පැමිණ සිටින සියළුම බැතිමතුන්ට එම ආශ්චර්‍යමත් අවස්ථාව විදගැනීමට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ අනුමැතිය පරිදි දර්ශණ දේව මන්දීරය විවෘත කරන බවත්, පේදුරු හා පාවුළු අපොස්තුළුතුමන්ලාට කැප කර ඇති උයනේ ස්ථාපිත ජීවමාන සංඥා නිකුත්කරන දේව මාතාවන්ගේ හාස්කම් ප්‍රතිමාව ඉදිරිපිට බැතිමතුන්ට තනිව යාච්ඤා කිරීමට ලබා දී ඇති කාලයට පසුව සියළුම බැතිමතුන්ට එම ආශ්චර්‍යමත් දේව වරප්‍රසාදයේ පිච්චමල් සුවද විදගැනීමට අවස්ථාව හිමි වන බවත් ප්‍රවීන් ශානක මහතා පැවසීය.

 

එදින සෙනසුරාදා සවස ජපමාල උච්චාරණය සදහා පැමිණ සිටි සියළුම බැතිමතුන් තම සිත් සේ නිර්මල කන්‍ය මරිය වහස්සේගේ එම ස්වර්ගීය පිච්ච මල් සුවද විද දරාගත් අතර, එතුමියට මහත් වූ ආදරයක් හා ගෞරවයක් පෙරදැරි කරගෙන පිච්ච මල් සුවද විහිදෙන කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, දර්ශණ දේව මන්දීරයේ, ප්‍රධාන පූජාසනයට ඉහලින් ස්ථාපිත දෙව් මවුන් ජේසු බිළිදුන් සිය වම් අත දරා සිටින ප්‍රතිමාව දෙස නෙත් අයාම යාච්ඤා කරන්නට විය. එදින මැදියම් රාත්‍රිය පසුවන තුරුද මෙම දෙව් මවු ප්‍රතිමාවෙන් හමා ආ පිච්ච මල් සුවදේ අඩුවක් නොවීය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල පිච්ච මල් සුවද පැතිරෙන, ජේසු බිළිදුන් වඩවාගත් දෙව් මවුන්ගේ ප්‍රතිමාව ස්ථාපිත ශුද්ධවූ මණ්ඩපයේ පොළව සිපගන්නා සැදැහැවතුන් පිරිසක් මෙම ඡායාරූපයන්ගෙන් ඔබට දැක ගත හැකිවනු ඇත. 2020 ඔක්තෝම්බර් 3 වෙනි සෙනසුරාදා සවස දෙව් මවු ප්‍රතිමාවෙන් පිච්ච මල් සුවද පැතිරෙද්දී මෙම ඡායාරූප ලබා ගන්නා ලදී