‛‛1986  දෙසැම්බර් 20 වෙනි  දින නිර්මල කන්‍ය මරිය තුමී, මෙම  සිද්ධස්ථානයේ, මෙම දර්ශණ දෙව්මැඳුර තුල දී මා වෙත දර්ශණය වුනා. එදා ලොකු සැදැහැවතුන් පිරිසක් මේ දර්ශණ දෙව්මැඳුර තුලත්, දර්ශණ දෙව්මැඳුරෙන් පිටත සිද්ධස්ථාන භූමියේත් රැස්ව සිටියා. මරිය තුමී දර්ශණය වන අවස්ථාව ඔවුන් තම දෑසින්ම දැක්කා. ඔවුන් ප්‍රීති ඝෝෂා නගමින් තම අවශ්‍යතා මරිය තුමියට හක්‍ෂ නඟා කිව්වා. මරිය තුමිය ද ඔවුන්ට ප්‍රාතිහාර්‍යාත්මක බලගතු ජීවමාන සළකුණු පෙන්නුම් කෙරුවා. බොහෝ වරප්‍රසාද දානය කෙරුවා. ඒ අතරේ මරිය තුමිය ලොවට දැනුම් දීමට පණිවිඩයක් ද ප්‍රකාශ කලා. ඒ පණිවිඩයෙන් එක වාක්‍යයක්, එකම එක වාක්‍යයක්, මේ මොහොතේ ඔබ ඉදිරියේ තබන්නට මම අදහස් කරනවා. එදා 1986 දෙසැම්බර් 20 වෙනිදා මරියතුමී ප්‍රකාශ කල පණිවිඩයෙන්, අද දින ඔබ වෙනුවෙන් මා උපුටා ගත් එකම එක වැකිය මෙයයි, ‛‛දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිවීම ලොකුම අභාග්‍යයයි’’, මේ වචන මාගේ වචන නොවෙයි, මරිය තුමීගේ වචනයි.’’ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කරනු ලැබුවේ 2011 මැයි 21 වෙනි දින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුලදීයි.

 

දෙව් මවුන් දර්ශණය වූ දර්ශණ දෙව්මැඳුර තුල, මෙදින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන්, ඉටිපහන් ආලෝකය මධ්‍යයේ ජපමාලය උච්චාරණය කරනු ලැබූ අතර විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණි සැදැහැවතුන් රාශියක් දර්ශණ දෙව්මැඳුර තුලත්, දර්ශණ දෙව්මැඳුරෙන් පිටත භූමියෙත් රැස්වී සිටියෝය.

 

ඉටිපහන් ආලෝකය මධ්‍යයේ ජපමාලය උච්චාරණය කිරීම අවසානයේ තම දේශණය පවත්වමින් තවදුරටත් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේද ප්‍රකාශ කල සේක. ‛‛මරිය තුමීගේ පණිවිඩ නොඇසුනා වගේ සිටින්නට අපට කොහොමවත් හැකියාවක් නැහැ. අප මවගේ අවවාද අපට ප්‍රතික්ෂේප කරන්නට බැහැ. ප්‍රතික්ෂේප කරනවානම් එය අපගේ අයහපතටම හේතු වන්නට පුළුවන්. දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිවීම මනුෂ්‍යයාගේ ලොකුම අභාග්‍ය බව මරිය තුමිය ප්‍රකාශ කරනවා. අපගේ ජීවිත ගමනට දේව දීමනා ඉතාමත් අවශ්‍යයයි. මේ දේව දීමනා දකින්නට මනුෂ්‍යයා අකමැතිනම්, මනුෂ්‍යාට දේව දීමනා නොලැබී යනවා, මනුෂ්‍යයාට දේව දීමනා නොලැබීම, මනුෂ්‍යයාගේ ලොකුම අභාග්‍යයයි.’’

 

‛‛දේව දීමනාවන් දැක ගැනීමටත්, ලබා ගැනීමටත්, ශ්‍රී ලංකාවේ පිහිටි මෙම කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ඉතාමත් යෝග්‍ය සිද්ධස්ථානයක්. මේ සිද්ධස්ථානයට පැමිණීමටත් යම් කෙනෙකුට වාසනාවක් තියෙන්නට ඕනා කියලා මට හිතෙනවා. මේ සිද්ධස්ථානයේ පැවැත්වෙන දේව මෙහෙයන්ට සහභාගිවන ජනතාව ජීවිතයේ තම බාධකයන්ට සැනසීම ලබා ගන්නවා. බාධක ජය ගනිමින්, සැනසීමෙන් ජීවත් වීම වාසනාවක් නේද?’’

 

‛‛මාගේ ප්‍රියාදර දරුවෙනි, මරිය තුමිය ඔබට ආදරෙයි. ඔබත් මරිය තුමියට අවංකව ආදරය කරන්න. ඔබගේ වාසිය සඳහා නොව, අවංකව එතුමියට ආදරය වන්න. ඔබ සැමදෙනෙක්ම එතුමියගේ ප්‍රියාදර පුතෙක් දුවෙක් වන්න. එතුමිය දර්ශණය වන්නාවූ මේ භූමිය, ඔබ එතුමියව මුනගැසෙන ස්ථානය බවට පත්කර ගන්න. දේව දීමනා දැක ගැනීමට කැමති වීමේ භාග්‍යය ඔබ සැමට අත්වේවා’’ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා සිය දේශණය අවසානයේ ප්‍රකාශ කල සේක.

 

ජපමාල බැතියට නව පනක් ලබා දෙමින්, ඉටිපහන් ආලෝකය මධ්‍යයේ සැදැහැවතුන් සමග ජපමාලය උච්චාරණය කිරීම අවසානයේ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මරිය තුමියගේ පණිවිඩයක් ද මතක්කර දෙමින් සැදැහැවතුන් ඇමතූ අයුරු පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.