කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයෙන් අසන්නට ලැබෙන තවත් ආශ්චර්යමත් පුවතක්
ශ්‍රී ලංකාවේ, කටුනායක නගරයේ පිහිටි, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ ද නිර්මල කන්‍ය මරිය මාතාවන් ද දර්ශණය වූ සිද්ධස්ථානයක්. උන්වහන්සේලාව තම දෑසින්ම දැක ගැනීමට තරම් වූ මහත් දුර්ලභ භාග්‍ය ලැබූ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා පදිංචිව සිටින්නේ මෙම සිද්ධස්ථානයේයි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙතින් ලබා ගත හැකි උතුම්ම පූජනීය නිලය වූ ‛අපොස්තුළුවරයෙන්’ පිදුම් ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ගේ පත්වීම සඳහා, දෙවන වරටත් මේ ලෝකයට දර්ශණය වීමට ජේසුස් ස්වාමින් වහන්සේට සිදු වුනා. මෙම පුද බිම බොහෝ හාස්කම් සිදුවන සිද්ධස්ථානයක්. මෙම අසිරිමත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සතිපතා සෙනසුරාදා සවස පැවැත්වෙන දේව මෙහෙයට සහභාගි වීමෙන් ජනතාව බොහෝ පිහිට ලබා තිබෙනවා, ඒ වගේම දැනුත් ලබමින් සිටිනවා.
මිනිසා විසින් ම, මිනිසාව වෙන්කරනු ලබන විවිධ භේද කිසිවකින් තොරව, කැමති ඕනෑම අයෙකුට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණිය හැකියි. සිය නිදහස් කැමැත්තෙන් එසේ පැමිණෙන සැදැහැවතුන්, තමන්ගේ දැවෙන ප්‍රශ්ණ ලියා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණන්ගේ පින්තූරය අසල ඇති ‛ලිපි පෙට්ටියට’ දමනු ලබන්නේ උන්වහන්සේගේ මධ්‍යස්ථකම පතා ලොකු විශ්වාසයකිනුයි. එසේ කරනු ලැබූ සැදැහැවතුන් රාශියක් මේ අපොස්තුළු තුමන්ගේ පිහිට ලබා තිබෙනවා. ඒ නිසාම මේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අදටත් මෙලොව ජීවතුන් අතර සිටියදීම, තම ගෙවල්වල උන්වහන්සේගේ පින්තූර තබා, එම පින්තූර අසල මල් තබා, පහන් දල්වා තැබීමට තරම් පෙළඹී සිටින ජනතාවක් ද සිටිනවා.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ මධ්‍යස්ථකමින් ජනතාව ලබා ගන්නා පිහිට පිළිබඳව නිරතුරුවම අපට අසන්නට ලැබෙන අතර, සෙනසුරාදා දිනවල සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට පැමිණ මෙම අපොස්තුළු තුමන්ගේ පිහිට පැතූ සදැහැවතුන් ලබා ඇති විවිධාකාර පිහිට සහ රෝග සුවයන් පිළිබඳව අපට ලියා එවා ඇති විස්තර තොරතුරු බොහෝමයක් අප සතුව තිබෙනවා.
ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේම මෙලොවට නැවත වරක් දර්ශණය වී පත්කරනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ මධ්‍යස්ථකමින්, ජනතාව ජේසුස් ස්වාමින් වහන්සේ පිළිබඳවත්, නිර්මල කන්‍ය මරිය මාතාවන් පිළිබඳවත් මේ වන විට අත්දැකීම් රාශියක් ලබා තිබෙනවා.
විවාහයෙන් වසර දහයක් ගතවී තිබුණද දරුවන් නොමැතිව අසරණව සිටි කාන්තාවක්, සිය සැමියාද සමගින්, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත සතිපතා සෙනසුරාදා දිනවල පැමිණ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත ලිපි භාරදීමෙන් පිහිට ලබා ගත් අන්දම මෑතක දී වාර්තා වුනා.
මෙහිදී විශේෂයෙන්ම සඳහන් කල යුතු ප්රාතිහාර්ය වන්නේ ගර්භාෂයේ දුර්වලතාවයක් නිසා, මේ කාන්තාවගේ කුසය තුල කිසිදා දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදු නොවන බව සියළු වෛද්‍ය වාර්තා මගින් ස්ථීරවම සනාථ කර තිබූ කාන්තාවක් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට ලිපි භාරදීමෙන් මෙම ප්රාතිහාර්යාත්මක අත්දැකීමට මුහුණ දීමයි.
පහත ඔබට කියවීමට ලැබෙන්නේ ඇයගේ ප්රාතිහාර්යාත්මක අත්දැකීමේ කතාවයි.
සර්ව දයාබරවූ ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේට ද, නිර්මල අපගේ මෑණියන් වන කටුනායක අප ස්වාමිදූටද සදහටම ස්තෝත්ර වේවා! උන්වහන්සේලා මේ ලෝකයට දර්ශණය වී අපට ලබා දුන්නාවූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියාණන්ට සදහටම මහිමය වේවා!
මේ ලෝකයේ ජීවත්වන අවාසනාවන්තම ගැහැණිය මම යයි මම සිතාගෙන සිටියෙමි. එසේ සිතන්නට මට හේතු තිබුණි. දෙවියන් ද මා අතහැර දමා ඇතැයි මම සිතුවෙමි. එසේ සිතන්නට ද මට හේතු අනන්තවත් තිබුණි. එහෙත් අද මම මේ ලිපිය ලියන්නේ ලෝකයේ සිටින වාසනාවන්තම ගැහැණිය මම යයි සිතාගෙන ලොකුම ලොකු සන්තෝෂයකිනි. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ වැඩ වසන ලෝකයේ එකම අපොස්තුළු තුමාණන් වෙත මාගේ දුක, කඳුලින් ලියා භාර දීමට සිදු වූයේ ලිපි දහයක් පමණි. අද මම මේ ලිපිය ලියන්නේ, කඳුලින් නොව සතුටිනි.
මම විවාහ වූයේ වයස අවුරුදු විසි දෙකෙනි. දෙමාපියන් විසින් ගෙනෙන ලද විවාහ යෝජනාවකින් අපගේ විවාහය සිදු වූ අතර, මාගේ ස්වාමිපුරුෂයා මටත් වඩා හොඳ ඉතාමත් ගුණ යහපත්, ආගමට ලැදි අයෙකි. එහෙත් අපගේ ජීවිත අඳුරු කල අවාසනාවක් තිබුණි. එයනම් අපට දරුවන් නොමැති වීමයි. මමත් මගේ ස්වාමිපුරුෂයාත් මේ ගැන මහත් කනස්සල්ලෙන් පසුවුනි. වෛද්‍යවරුන් ගණනාවක්ම අපට වෛද්‍ය උපදෙස් දුන් අතර වෛද්‍ය පරීක්ෂණ ගණනාවකටම අපි මුහුණ දුන්නෙමු. ඒ සියල්ලකින්ම අපට දැනගැනීමට ලැබුනේ එකම කතාවකි. එයනම් මගේ ගර්භාෂයේ දුර්වලතාවයක් නිසා, මගේ ගර්භාෂය තුල දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදු නොවන බවයි.
මේ සම්බන්ධව මගේ ස්වාමිපුරුෂයාගෙන් මට කිසිදු අපහාසයක් එල්ල නොවුනි. ඔහු නිතරම කිව්වේ අපි දේව කැමැත්තට හිස නැමිය යුතු බවයි. නමුත් සමාජයෙන් මට නිතරම එල්ල වූයේ අපහාසමයි. වෛද්‍යවරු කිව්වේ කුඩා දරුවකු නිත්‍යානුකූලව ලබාගෙන දරුකමට හදා ගැනීම පිළිබඳව සලකා බලන ලෙසයි.
මේ අතර පල්ලි පල්ලි ගානේ ගොස් බාරහාර වීම ද අපි කල නමුත් අපට කිසිදු සුවයක් පිහිටක් නොලැබුනි. දිනක් අප නිවසට පැමිණි ‛‛බයිබල්කාරයන්’’ යයි අපි හඳුන්වන පිරිසක්, අප සමග කතාවට වැටී, අපගේ දැවෙන ප්‍රශ්ණයද දැනගැනීමෙන් පසුව, එක් අයෙක් මගේ හිසට අත තබා යාච්ඤා කලේය. ඔහු කිව්වේ මාස තුනක් ඇතුලත මා සුවපත්වී, මට දරුවකු පිළිසිඳෙන බවත්, ඒ සඳහා මා කල යුතු පළමු දේ ලෙස ඔහු කීවේ මෙවැන්නක්ය. ඒ අවස්ථාවේදීත් පහන දල්වා තිබුන දෙව් මවුන්ගේ ප්‍රතිමාව අසල පහන නිවා දමා, දෙව් මවුන්ගේ ප්‍රතිමාව වහාම කඩා දමන ලෙසටයි. මරිය තුමියට ඉතාමත් අපහාස කරන කතා ගණනාවක්ම ඔවුන් අපට කිවූ අතර, ඔවුන්ගේ තර්ක අපි විශ්වාස කලෙමු. ඔවුන් කිවූ පරිදි, මගේ ස්වාමිපුරුෂයාගේත් කැමැත්ත ඇතිව පහන නිවා දමා, දෙව් මවුන්ගේ ප්‍රතිමාව පොළවේ ගසා කඩා දැමුවෙමු. එම අවස්ථාවේදී අපගේ නිවසට ගැළවීම පැමිණි බව ප්‍රකාශ කල ඔවුන් ශබ්ද නගා විවිධ යාච්ඤාවන් කරන්නට විය.
උපතින්ම කතෝලිකයන් වූ අපට, ඊට පසු ඉරුදින ඔවුන්ගේ දෙව්මැඳුරට පැමැණෙන ලෙස කිව්ව අතර, අපි එසේ කලෙමු. එදින ඔවුන් අප දෙදෙනාව බෞතීස්ම කර, මාස තුනක් ඇතුළත අපගේ දැවෙන ප්‍රශ්ණය ස්ථීරවම විසඳෙන බව ප්‍රකාශ කළහ. මේ සියල්ලක් අප අතින් සිදු වූයේ කෙසේ හෝ අපට දරුවෙක් ලබා ගැනීම පිණිසයි. සෑම ඉරුදිනකම ඔවුන්ගේ බයිබල් මෙහෙයන්ට අපි සහභාගි වූවද, මාස පහක් ගත වූවත් අපට සහනයක් නොලැබුණි. ඔවුන් අපට කිව්වේ තව දිගට ඔවුන්ගේ බයිබල් මෙහෙයන්ට සහභාගි වන ලෙසය.
මේ අතර මරිය තුමී ශ්‍රී ලංකාවේ දර්ශණය වී, මහත් පුදුම අන්දමින් පිහිට වන්නාවූ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය ගැන අපට දැනගන්නට ලැබුණි. අන්තර්ජාලය මගින් ද බොහෝ තොරතුරු අපට දැනගත හැකි විය.
සියල්ල පසෙක තබා නැවතත් අපි දෙව් මවුන් වෙතටම හැරුනෙමු. තොරතුරු දැනගත් සතියේ සෙනසුරාදා සිට අපි කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත ගමන ආරම්භ කලෙමු. සිද්ධස්ථාන භූමියේ ස්ථාපිත දෙව් මවුන්ගේ විශාල ප්‍රතිමාව දෙස බැලීම, මටත් මගේ ස්වාමිපුරුෂයාටත් හිතට මහත් වේදනාවක් විය. මාස පහකට පෙර දෙව් මවුන්ගේ ප්‍රතිමාව කඩා දැමූ ආකාරය අප දෙදෙනාම මතක් විය. සිද්ධස්ථාන කාර්යාලයේ විමසීම් නිලධාරි මහතා සමුවී කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෑම සෙනසුරාදාවකම සවස පැවැත්වෙන දේව මෙහෙයන් සම්බන්ධව තොරතුරු දැනගතිමු.
එදින ඉටිපහන් ආලෝකය මධ්‍යයේ දෙව් මවුන්ට ජපමාලය පුද කරනු ලබන දිනයක් විය. අපගේ පවුකාර හදවත් නැවත දෙව් මවුන් වෙත ඔසවා තබන්නට හැකි දේශණයක් එදින ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා ප්‍රකාශ කල අතර, ජපමාල උච්චාරණය සහ ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ යාච්ඤාවන් ද අප දෙදෙනාගේම හදවත් පසාරු කරන්නට විය.
එදින අපි සිද්ධස්ථානයේ ආගමීක භාණ්ඩ මධ්‍යස්ථානයෙන් ජපමාල දෙකක් ද, ජේසු තුමන්ගේ සහ දෙව් මවුන්ගේ ප්‍රතිමා දෙකක් ද ලබාගෙන, ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට ඉදිරිපත් කර ආශිර්වාද කරවා ගතිමු. දේව දූත ආශිර්වාද තෙල් සහ දේව දූත ආශිර්වාද කට්ටකුමංචල් ද ලබා ගතිමු. ගෙදර ගොස් ප්‍රතිමා දෙක නැවත තැන්පත් කර, දේව දූත ආශිර්වාද තෙල් යෙදූ පහන දල්වා, දේව දූත ආශිර්වාද කට්ටකුමංචල් ද දුම් අල්වා, නැවතත් අපි දෙව් මවුන්ගේ බලවත් මාර්ගයට පැමිණියෙමු.
දේව දූත ආශිර්වාද තෙල් යෙදූ පහන දැල්වීමත් සහ දේව දූත ආශිර්වාද කට්ටකුමංචල් ගෙදර දුම් ඇල්වීමත්, ගෙදරට අමුතුම ආශිර්වාදාත්මක සිරියාවක් බව අපට පමණක් නොව ගෙදරට යන එන අමුත්තන්ට පවා වැටහුනි. දෙව් මවුන්ගේ පිහිට සොයා යා යුතු නියම ස්ථානය අපට හමුවී ඇති බව මටත් මගේ ස්වාමිපුරුෂයාටත් හැඟුන අතර, මගේ ස්වාමිපුරුෂයා කිව්වේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී මා සුවපත් වන බව ස්ථීර බවත්, අපට දරු සම්පතක් ස්ථීරවම ලැබෙන බවත්ය. එය මාගේ ද විශ්වාසය විය.
මේ වන විට අප විවාහ වී වසර දහයක් සම්පූර්ණව තිබූ අතර මගේ වයස අවුරුදු තිස් දෙකක් විය. ඊළඟ සෙනසුරාදා සිට මගේ ස්වාමිපුරුෂයාත් මමත් අපගේ දැවෙන ප්‍රශ්ණය ලියා ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ට ලිපි භාර දීමට ආරම්භ කලෙමු. වසර දහයක් දරවෙක් ගැන සිහින මැවූ අපට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ශුද්ධෝත්තම අපොස්තලික පියතුමාගේ මැදිහත් කමින් අපට පිහිට ලැබෙන බව ස්ථීරවම අප දෙදෙනාම විශ්වාස කල නිසා, එම දිනය උදාවන තුරුම ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ දෝතටම ලිපි භාර දෙන බව අප දෙදෙනාගේම අධිෂ්ඨානය විය. දේව දූත ආශිර්වාද තෙල් යෙදූ පහන දිනපතා උදේ සවස දල්වා, දේව දූත ආශිර්වාද කට්ටකුමංචල් දුම් අල්වා අපගේ නිවස දේව දූත ආශිර්වාදයෙන් පුරවා ගතිමු.
මගේ ගර්භාෂයේ දුර්වලතාවයක් නිසා, මගේ ගර්භාෂය තුල දරුවෙකු පිළිසිඳ ගැනීමක් සිදු නොවන බව සනාථ වී තිබුණ ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ සෑම සෙනසුරාදාවකම සවස දේව මෙහෙයට සහභාගි වීමට ආරම්භ කර මාස දෙකහමාරකට පසුව, මා දරුවකු පිළිසිඳ ගැනීමේ ලකුණු පහළ විය. ඒ වන විට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් වෙත අප දෙදෙනාම දස වෙනි ලිපියද භාර දී තිබුණි.
ඉන්පසු මේ පිළිබඳව සිද්ධස්ථාන කාර්යාලයේ විමසීම් නිලධාරි මහතාට දැන්වූ අතර, මගේ රෝගී තත්වය පිළිබඳ කලින් ගත් චෛද්‍ය වාර්තාවන්ද සමග දරුවෙක් පිළිසිඳ ඇති බව සනාථ කෙරෙන වෛද්‍ය වාර්තාවන් ද ඉදිරිපත් කරන ලෙස ඒ මහතා ප්‍රකාශ කලේය. පසුව ඒ සියල්ලක් ඉදිරිපත් කල අතර දරු ප්‍රසූතියෙන් පසුව ඒ බව සනාථ කෙරෙන වෛද්‍ය වාර්තා සහ අනිකුත් වෛද්‍ය වාර්තාවන්ද ඉදිරිපත් කරන ලෙස ඒ මහතා අපට කිව්වේය.
එසේ කරන බවට අප පොරොන්දු වූ අතර, නිරෝගී පුතෙක් හෝ දුවෙක් අපට දානය කරන ලෙස ඉල්ලා එතැන් සිට ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ බලවත් මැදහත්කම පතා උන්වහන්සේට අප දෙදෙනාම ලිපි භාර දුන්නෙමු.
2011 ජූලි මස 12 වෙනි දින උදේ මා නිරෝගී දියණියක් ප්‍රසූත කල අතර, මෙය අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමාණන්ගේ මධ්‍යස්ථ කමින් ද, මරිය තුමියගේ බලය අපට පෙන්වා දෙමින් ද, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදී සිදුවූ තවත් ප්රාතිහාර්යයක් ලෙස සනාථ කෙරෙන වෛද්‍ය වාර්තාවන් ද සිද්ධස්ථාන කාර්යාලයේ විමසීම් නිලධාරි මහතා වෙත ඉදිරිපත් කළෙමු. ඒ පිළිබඳව සියළු සොයාබැලීම් සිදු කල පසුව, මගේ අත්දැකීම මටම ලියන ලෙස ඒ මහතා දැන්වූ අතර, ඒ අනුව මෙම ලිපිය ලිව්වෙමි. මේ ප්රාතිහාර්ය ප්‍රසිද්ධ කර, මුලාව ගොස් ඇති කිතුණුවන් නැවතත් දෙව් මවුන් හා සමග සමගි කරන ලෙස විශේෂයෙන් ඉල්ලා සිටිමි.
අපට ලැබී ඇති ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ගැන මම දැන් කුමක් ලියන්නද, ලියනවානම් මම කොතනින් පටන් ගන්නද කියා මටම සිතා ගැනීමට බැරිය. මගේ ස්වාමිපුරුෂයා කියන්නේ, ඇත්තටම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ වෙස්වලාගෙන නැවතත් අප අතරට පැමිණ ඇති බවක් ඔහු සිතන බවයි. මට ද සිතෙන්නේත්, මට ද ලියන්නට සිදු වී ඇත්තේත් එයමයි.
මල්ෂානි පෙරේරා, ගල්කිස්ස.
පහත ඡායාරූප මගින් ඔබට දැකගැනීමට ලැබෙන්නේ සෙනසුරාදා සවස දේව මෙහෙය අවසානයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ලිපි භාරගන්නා අවස්ථාවේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ඡායාරූපය අසල ඇති ‛ලිපි පෙට්ටියට’ සැදැහැවතුන් ලිපි දමන ආකාරයත්, අපොස්තුළු තුමන්ගේ ඡායාරූපය අසල සැදැහැවතුන් කන්නලවු කරන ආකාරයත්ය