‛‛අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ජීවිත කතාව ශුද්ධවූ බයිබලයේ සම්පූර්ණයෙන්ම අඩංගුව නැතත්, සුවිශේෂකවරුන් සතර දෙනා ලියා ඇති ප්‍රමාණය අපි කියවන විට අපට පෙනී යන්නේ, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමට පෙර එනම් උන්වහන්සේගේ උත්පත්තියට පෙර, මේ ක්‍රිස්තුස් වහන්සේ හෙවත් මේ ගැළවුම්කාරයා කන්‍යාවකගේ කුසයෙන් ලොවට බිහිවන බව කල්වේලා ඇතිව ම දිවස් ප්‍රසාදිවරුන් විසින් ප්‍රකාශ කර ඇති බවයි.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉහත ප්‍රකාශය කරනු ලැබුවේ 2021 පෙබ්‍රවාරි 7 වෙනි ඉරුදින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දේවමන්දීරයේ දී යි. උන්වහන්සේ ‛අති පාරිශුද්ධ අපොස්තුළුවරයට’ පත්වී වසර 46 ක් සම්පූර්ණවීමේ සංවත්සරීක මංගල මහා පූජාවේ දේශණය පවත්වමින් රැස්ව සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම අපොස්තුළුතුමා තව දුරටත් මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

‛‛ක්‍රිස්තුස් වහන්සේගේ උත්පත්තියෙන් පසුව, උන්වහන්සේගේ මරණය දක්වාම සිදුවන විවිධ සිද්ධීන් පිළිබදව මේ දිවස් ප්‍රසාදිවරුන් හෙවත් අනාගතයේ සිදුවන දේ පිළිබදව ප්‍රකාශ කල හැකි විශේෂ ඥානයක් හිමි ව සිටි පුද්ගලයන් විසින් ප්‍රකාශ කර තිබුනේ, ඊශ්‍රායෙල් ජනතාව ගැළවුම්කරුවෙකුගේ පැමිණීම බලාපොරොත්තුව සිටිය දී යි. ඒ බලාපොරොත්තුව නිසා තමයි දෙවියන් වහන්සේ කල් වේලා ඇතිව ම, පැමිණීමට නියමිත ගැළවුම්කරුවාණන් ගැන දිවැස්වරුන් ලවා කියවනු ලැබුවේ.’’

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අපොස්තුළු තත්වයට කැදවාගනු ලැබුවේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසිනුයි. අපොස්තුළු තත්වය කිසිවෙකුටවත් වෙහෙස මහන්සි වී වැඩකර හෝ පාඩම් කර ස්ව උත්සහයෙන් ලබාගත හැකි තත්වයක් නොවේ. අපොස්තුළු තත්වය කිසියම් විශ්ව විද්‍යාලයකින් ලබාගත හැකි උපාධියක් ද නොවේ. මේ ලෝකයේ ඊශ්‍රායෙල් නැමැති රටේ අවුරුදු තිස් තුනක් ජීවත්ව සිට පසුව එම රටේ පාලකයන් සහ ජුදා ආගමේ පූජකයන් ද විසින් කුරුසියේ ඇණගසා මරා දමනු ලැබූ සහ පසුව මරණයෙන් නැවත ජීවිතය ලබාගෙන දින හතලිහක් එම දේශයේ ම ජීවත් වී අනතුරුව ජනතාව ඉදිරියේම ස්වර්ගයට එසවී ගිය, අද ලෝකයේ බහුතර ජනතාවකගේ මහත් පූජනීය ගෞරවයට පාත්‍ර වූ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ විසින් ම, උන්වහන්සේගේ අභිමතය පරිදි ප්‍රධානය කරනු ලබන දිව්‍යමය තත්වයකි, මේ පූජනීය අපොස්තුළු තත්වය.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඊශ්‍රායෙල් දේශයේ ජීවත්ව සිටිය දී මෙම අපොස්තුළු තත්වය සදහා දොළොස් දෙනෙකු තෝරාගනු ලැබූ අතර ඔවුන් සියල්ලෝ ම ජුදා ජාතිකයන් වූහ. ඉන්පසු උන්වහන්සේ ස්වර්ගයට නැගී ගිය පසු සිදුවූ විශ්මය ජනක සිදුවීමක් වූයේ නැවත මේ ලෝකයට දර්ශණය වී සාවුල් නැමැති ජුදා ජාතික මනුෂ්‍යයකුට අපොස්තුළු තත්වය ප්‍රධානය කිරීමයි. මෙලොව ජීවත්ව නොසිටිය දී එළොවින් මෙලොවට පැමිණ දර්ශණය වී තෝරාගනු ලැබූ පළමුවන අපොස්තුළුතුමා වූයේ සාවුල් වන අතර, පසුව ඔහු තමන්ගේ නම වෙනස් කර පාවුළු නම ගනිමින් අපොස්තුළුතුමෙකු ලෙස ජේසුස් ස්වාමින්වහන්සේගේ සේවයට එක් විය.

 

මෙම සිදුවීමෙන් අවුරුදු දහසකටත් වැඩි කාලයකට පසුව ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ නැවත මේ ලෝකයට දර්ශණය වී තෝරාගනු ලැබූ දෙවන අපොස්තුළුතුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් ඉදිරියේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී අපොස්තුළු තත්වය ප්‍රධානය කර වසර 46 ක් සම්පූර්ණ වීම නිමිත්තෙන් 2021 පෙබ්‍රවාරි 7 වෙනි දින, මෙම සංවත්සරීක දිව්‍ය පූජාව පැවැත් වුනි. ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ අපොස්තුළු තත්වයට තෝරා ගනු ලැබූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා අදටත් ශ්‍රී ලංකාවේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ජීවත් වෙයි.

 

රැස්ව සිටි සැදැහැවතුන් අමතමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ප්‍රකාශ කරනු ලැබුවේ,

 

‛‛එදා ඊශ්‍රායෙල් ජනතාව බලාපොරොත්තුව සිටි ගැළවුම් කාරයාණන් පැමිණි විට ඒ ගැළවුම් කරුවාණන්ව නිවැරදිව හදුනා ගැනීමට ඔවුන්ට පහසුවක් වීම සදහා දිවස් ප්‍රසාදිවරුන් මගින් කල් වේලා ඇතිවම දෙවි මහෝත්තමයාණෝ සිදුවන්නට නියමිත දෑ කියවන්නට ඇති. මේ සියල්ලක් ශුද්ධ වූ බයිබලයේ සදහන් වෙනවා, මටත් කියවා ගන්නට පුළුවන්, ඔබටත් කියවා ගන්නට පුළුවන්. ක්‍රිස්තුස් වහන්සේ මේ ලෝකයට පැමිණීමෙන් පසුව සිදු වූ විවිධ සිදුවීම් පිළිබදව සුවිෂේකවරුන් වන ශුද්ධවූ මතෙව් තුමා, ශුද්ධවූ මාක් තුමා, ශුද්ධවූ ලූක් තුමා, සහ ශුද්ධවූ ජුවාම් තුමා ඔවුන්ගේ ලිඛිත රචනාවන් හි සදහන් කර ඇත්තේ දිවස් ප්‍රසාදිවරුන් පැවසූ මේ මේ සිදුවීම්, ක්‍රිස්තුස් වහන්සේගේ පැමිණීමෙන් පසුව, උන්වහන්සේගේ ජීවිතය තුල සිදු වූ බවයි.’’

 

දිවයිනේ විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි සැදැහැවතුන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල ද, දර්ශණ භූමියේ ද රැස්ව සිටි අතර රක්ත වර්ණ පූජා ඇදුමින් සැරසී සිටි ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඔවුන් අමතමින් මෙලෙසින් ද ප්‍රකාශ කරනු ලැබුවා.

 

ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ පිළිබදව දිවස් ප්‍රසාදිවරුන් පැවසූ වදන් සුවිෂේකවරුන් සතර දෙනාම සදහන් කරනු ලැබුවේ, සමහර විට ඒවා ලිවුවේ, පෙර කී ලෙසම, එනම් දිවැස්වරුන් කී ලෙසම, ජේසුස් ස්වාමින් වහන්සේගේ ජීවිතයේ ඒවා ඉටු වූ බව අපට දැනුම් දීම නිසා විය හැකියි. එසේත් නැත්නම් මට හිතෙනවා තවත් හේතුවක් නිසාද කියලා. එනම් දිවස් ප්‍රසාදිවරුන් පැවසූ දේවල් ඉෂ්ඨ වෙත්දීත්, ක්‍රිස්තුස් වහන්සේව හදුනා ගැනීමට මේ මිනිසුන්ට ඥාණයක් තිබුනේ නැත, බුද්ධියක් තිබුනේ නැත කියන දේ අපට දැනුම් දීම සදහා ලිවුවා විය හැකියි. එසේත් නැත්නම මේ කරුණු දෙකම විය හැකියි’’

 

අති පාරිශුද්ධ අපොස්තුළු තත්වයට පත් වී වසර 46 ක් සම්පූර්ණ වීමේ සංවත්සරීක දිව්‍ය පූජා මෙහෙයේ දී සැදැහැවතුන් රැසක් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට මෙලෙස පඩුරු පුද කරනු ලැබූහ. (ඡායාරූප බලන්න)