ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා අවධාරණයෙන්ම ප්‍රකාශ කරයි
‛‛දෙසැම්බර් මාසයේ ලෝක විනාශයක් සිදු වෙන්නේ නැහැ. දින තුනක විශේෂ අන්ධකාරයක් ඇතිවෙන්නේත් නැහැ. සාමාන්‍යයෙන් හිරු බැස ගොස් අන්ධකාරය ඇතිවන වෙලාවට වෙනදා වගේම අන්ධකාර වෙයි.’’ අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා නොවැම්බර් 21 වෙනි බදාදා මෙම අදහස් ප්‍රකාශ කලේ උන්වහන්සේව බැහැදැකීමට ජර්මනියේ සිට පැමිණි උන්වහන්සේගේ ජර්මන් මිතුරෙකුටයි.
ශ්‍රී ලංකාවේ පමණක් නොව, මුළු ලෝකයේම අද භීතියට පත්ව කතා කරන මාර්තෘකාවක් බවට පත් වී ඇති දෙසැම්බර් මාසයේ ලෝක විනාශය සහ දෙසැම්බර් 21 වෙනි දින සිට පවතින දින තුනක අන්ධකාරය පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙසේ ද ප්‍රකාශ කල සේක. ‛‛යම් දවසක මේ ලෝකය විනාශ වෙන බව ක්‍රිස්තුස් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ බව බයිබලයේ සඳහන් වෙනවා. ලෝකය විනාශයේදී හිරු අඳුරු වන බවත් බයිබලයේ සඳහන් වෙනවා. මනුෂ්‍ය පුත්‍රයාණන්ගේ සළකුණ අහසෙහි පහළ වෙන බවත් සඳහන් වෙලා තියෙනවා. ලෝක විනාශයේදී එහෙම වෙනවා. නමුත් එහෙම වෙන ලෝක විනාශය මේ 2012 දෙසැම්බර් මාසයේ නොවෙයි. ක්‍රිස්තු වර්ෂ 3000 දී වත් ලෝකය විනාශ වෙන්නේ නැහැ.’’
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, අපොස්තලික නිවහනේ දී පැවති මේ සුහද හමුවේදී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා තව දුරටත් සිය අදහස් දක්වමින් මෙසේ ද පැවසූ සේක.
‛‛ලෝක විනාශය සිදු නොවූවත්, ඉදිරියේ දී බොහෝ දුෂ්කරතාවයන් ලෝකයට ඇති වෙනවා. නොයෙක් ආකාරයේ ලෙඩ රෝග ගැන අසන්නට ලැබෙනවා. දැනටමත් නොයෙක් රෝග තියෙනවා. ඒවාට මිනිසුන් විසින් නම් යොදලා තියනවා. උදාහරණ ලෙස කියනවා නම්, ඩෙංගු, පිටගැස්ම, මැලේරියාව ඔය වගේ මිනිසා විසින් නම් යොදපු විවිධ රෝග තියනවා. තවම නමක් යොදා නැති, අළුතෙන්ම නම් කල යුතු, අළුත් රෝග ලෝකය පුරා ව්‍යාප්ත වෙනවා. අහසින් සහ පොළොවින් ඇතිවන විපත් මගින් ලෝකය පුරා මිනිසුන් එක්කෙනෙක් දෙන්නෙක් නෙමෙයි, කණ්ඩායම් පිටින් මරණයට පත් වෙනවා. ඉතින් ඇයි මෙහෙම වෙන්නේ කියලා කිව්වට මිනිස්සු අහන්නේ නැහැනේ. මිනිස්සු අහන්න කැමති නම් කොච්චර දේවල් කියලා දෙන්න පුළුවන්ද? ක්‍රිස්තුස් වහන්සේ ලෝකයේ ඇවිදලා කියලා දුන්න කාලේ ඇහැව්වද, නැහැ. අහනවා තියා කියන්න දුන්නේත් නැහැ. මේ ලෝකයෙන් එලවලා දැම්මා, ඒ කියන්නේ් මරලම දැම්මා. ඉතින් මට මොනවා නොකියයිද?’’