මෙම වසරේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාවට සහභාගි වීම සඳහා පැමිණෙන සියළුම වන්දනාකරුවන්ට උන්වහන්සේ විසින් නත්තල් සුභ පැතුම් පතක් බෙදා දෙනු ලබන බව අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා පවසනු ලැබුවා. මෙම නත්තල් සුභ පැතුම් පතේ එක් පැත්තක පසුගිය වසරේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ ඉදිකරනු ලැබූ නත්තල් ගවලෙනෙහි පිංතූරයක් මුද්‍රණය කර ඇති බවත්, අනික් පැත්තෙහි, ‛‛විනිශ්චය පැමිණෙන්නේ දෙවිඳුන්ගෙන් ය. කෙනෙකු පහතට හෙළන්නේ ද කෙනෙකු ඉහළට ඔසවන්නේ ද උන්වහන්සේමය.’’ (ගීතාවලිය 75/7) යනුවෙන් ශුද්ධවු බයිබලයේ ගීතාවලියෙහි සඳහන් වගන්තිය සමග ‛‛දේවාශිර්වාදයෙන් සපිරුණ ප්‍රීතිමත් නත්තලක් ඔබට ප්‍රාර්ථනා කරමි’’ යි, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ නත්තල් සුභ ප්‍රාර්ථනය ද, ‛‛රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා’’ යනුවෙන් උන්වහන්සේගේ නම සමග ‛‛2012 දෙසැම්බර් 25 නත්තල් දින’’ යනුවෙන් සටහන් වන බව ද අපොස්තලික මාධ්‍ය ප්‍රකාශක සශික විෂාන් මහතා මෙම අපොස්තලික නත්තල් සූභ පැතුම් පත පිළිබඳව විස්තර කරමින් අපොස්තලික මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කරනු ලැබුවා.

 

අපොස්තලිකාසන අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් මත, අපොස්තලික මුද්‍රණ කාර්‍යාලය මගින් මෙම නත්තල් සුභ පැතුම් පත නිශ්පාදනය කර තිබෙනවා.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලබන මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව දෙසැම්බර් 24 වෙනි දින, රාත්‍රී 11.30 ට ආරම්භ වීමට නියමිතයි. නත්තල් දිව්‍ය පූජාව අවසානයේ නත්තල් සතිය සඳහා ඉටිපහන් ආසිරි ගැන්වීම මෙවර විශේෂ සිදුවීමක්.

 

මේ අතර නත්තල වෙනුවෙන් අපොස්තලික නිවහන නත්තල් සැරසිලිවලින් ඉතාමත් විචිත්‍රවත් අන්දමින් සරසා ඇතැයි අපොස්තලික ලේකම් ඩබ්ලිවු. අශෝක ප්‍රනාන්දු මහතා සඳහන් කලා. ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ පුද්ගලීක වියදමින් ප්‍රතිසංස්කරණය කරනු ලැබූ නව අපොස්තලික නිවහන වෙත ශුද්ධෝත්තම අපොස්තුළු තුමා පදිංචියට පැමිණියේ පසුගිය මැයි මාසයේ දීයි. නව අපොස්තලික නිවහනේ උන්වහන්සේ ගත කරන පළමු නත්තල මෙයයි. අපොස්තලික නිවහනේ දොරවල් තුලින් ඇතුළු වීමට හෝ පිටවීමට අවසර ඇත්තේ ඉතාමත්ම සුළු පිරිසකට පමණයි.