සියළු වරප්‍රසාදයෙන් පූර්ණවන්තිය වූ ඒ උත්තමාවගෙන් වරප්‍රසාද රැසක් හිමිකර දෙන්නා වූ මෙවර මධ්‍යම රාත්‍රී නත්තල් මංගල දිව්‍ය පූජාව දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 11.30 ට ආරම්භ වන්නේ, නිර්මල කන්‍ය මරිය මාතාවන්ව ජීවමානව ම විසිතුන් වතාවක් දැක ගැනීමේ ඉතා දුර්ලභ වාසනාව හිමි වූ ප්‍රථම සහ එකම ශ්‍රී ලාංකිකයා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන්ගේ ප්‍රධානත්වයෙනුයි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේ, නිර්මල කන්‍ය මරියාවන් දිව්‍ය ජේසු බිළිඳාණන් වම් පසින් තුරුලේ තබාගෙන දර්ශණය වූ ස්ථානයේ දී, මෙවර මැදියම් රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව සිදු කෙරෙන අතර, දිව්‍ය පූජාව අවස්ථාවේ දී, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් සැදැහැවතුන්ගේ ඉල්ලීම් ලිවූ ලිපි තමන්ගේ සුරතට ම භාරගනු ඇත. මෙතෙක් කාලයක් සැදැහැවතුන් තම ඉල්ලීම් ලිපි රතු පෙට්ටිය තුලට දැමීම සිරිතක් වූව ද, මෙවර නත්තල් දින ශුද්ධෝත්තතම අපොස්තුළුතුමන්ගේ දෝතටම තම ඉල්ලීම් ලිපි භාරදීම සඳහා අවස්ථාව ලැබෙන්නේ, දිව්‍ය ජේසු බිළිඳාණන් තුරුලේ හොවාගත් දේව මෑණියන්ගේ ප්‍රතිමාව අභියස දී යි.

 

ගෙවීයන 2025 වසර අවසානයේ ඔබ දේව මාතාවන් වෙතින් අවසාන වරටත් ඉල්ලා සිටින්නා වූ ඉල්ලීම මෙම ලිපියේ සඳහන් කල යුතුයි. මේ සඳහා ලිපි කවර සිද්ධස්ථානයෙන් ලබාගත යුතුයි. නත්තල් දින ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ට භාරදීමට අදහස් කරනු ලබන ලිපි සඳහා මුද්‍රා තැබීම, දෙසැම්බර් 24 වෙනි දින රාත්‍රී 10.15 සිට 11.15 දක්වා සිද්ධස්ථාන කාර්යාලයේ දී සිදු කෙරෙනු ඇත.

 

විටින් විට යම් කිසි කාල සීමාවක් පිච්ච මල් සුවඳ, පැතිරෙන මේ ලෝකයට ඇති එකම එක, දේව මෑණියන්ගේ ප්‍රතිමාව, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති දේව මෑණියන්ගේ ප්‍රතිමාවයි. මෙම ප්‍රතිමාව ශුද්ධෝත්තම අපොස්තුළු පියාණන් විසින් ආශිර්වාද කරනු ලැබුවේ, 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී යි. එදා 2015 දෙසැම්බර් 24 වෙනි දින නත්තල් දිව්‍ය පූජාවේ දී ශුද්ධෝත්තම අපොස්තුළු පියාණන් විසින් ආශිර්වාද කරනු ලැබූ දෙව් මවු ප්‍රතිමාව, මේ වන විට සත් වරක් පිච්ච මල් සුවඳ පතුරුවා, මෙවන් හාස්කමක් සිදුවන ලෝකයේ ඇති එකම දෙව් මවු ප්‍රතිමාව බවට පත්වී තිබෙනවා. ඉතින් අප දයාබර මෑණියන්ගේ ප්‍රතිමාව ආසිරි ගන්වා වසර 10 ක් සම්පූර්ණ වීම මෙවර නත්තලේ දී සමරණු ලබනවා. මේ අතර අප ජේසු සමිඳාණන්ගේ උත්පත්තියේ 2025 වෙනි සංවත්සරය මෙවර නත්තලට යෙදී තිබෙනවා. මේ සියල්ලක් සමරමින් ඔබට වරප්‍රසාද රැසක් හිමිකර දෙන ශුද්ධෝත්තම අපොස්තුළු පියාණන්ගේ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජා මෙහෙය ඔබගේ ජීවතවලට නව ආලෝකයක් උදාකරනු ඇතැයි අපි තරයේ ම බලාපොරොත්තු වෙනවා පමණක් නොවෙයි එය එසේම වේවා යි ප්‍රාර්ථනය කරනවා.

 

මේ වන විට කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව් මැඳුර තුල ඉහළින් ම ස්ථාපිතව ඇති නිර්මල කන්‍ය මරියාවන් දිව්‍ය ජේසු බිළිඳාණන් වම් පසින් තුරුලේ තබාගෙන දර්ශණය වූ අයුරු පෙන්නුම් කෙරෙන ප්‍රතිමාව, වසර 10 කට පෙර 2015 දෙසැම්බර් 24 වෙනි දින, සිද්ධස්ථාන භූමියේ පවත්වනු ලැබූ මධ්‍යම රාත්‍රී නත්තල් දිව්‍ය පූජාව අවස්ථාවේ දී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු පියාණන් විසින් ආශිර්වාද කරනු ලැබූ අවස්ථාව මේ ඡායාරූපයන්ගෙන් ඔබට දැකගත හැකියි