‛‛විවාහය යනු එක් කෙනෙක් මත අනෙකා ජීවත් වීමක්, නිදසුනක් ලෙස මැටියෙන් තැනූ ප්‍රතිමා දෙකක් කඩා, එයින් එක මැටි පිඩක් තනා, නැවතත් පෙර ප්‍රතිමා දෙක ඒ නව මැටි පිඩෙන් තැනීමක් වැනියි.’’

 

අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙසේ පැවසුවේ 2014 පෙබ්‍රවාරි 15 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදීයි.

 

මීගමුව, මුන්නක්කරයේ පදිංචි වෙනීරියස් ප්‍රනාන්දු සහ සෙල්වින් ප්‍රනාන්දු යුවලගේ විවාහ දිවියට වසර විස්සක් සම්පූර්ණ වීම නිමිත්තෙන් එදින පවත්වනු ලැබූ තුති පිදීමේ දිව්‍ය පූජාව අවස්ථාවේ දේශණය පවත්වමින් එසේ පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විවාහ ජීවිතය පිළිබඳව බොහෝ දේ ප්‍රකාශ කරනු ලැබූහ.

 

විවාහ ජීවිතයක් හිමි අය මෙන්ම විවාහ දිවියක් අහිමි අය ද සිටින බැවින් ඒ පිළිබඳව හොඳින් තේරුම් ගත යුතු බව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙලෙස පැහැදිලි කල සේක.

 

‛‛විවාහය කියන්නේ කෙනෙකුගේ ජීවිතයේ ලොකු සන්දිස්ථානයක්. ඒත් එක්කම මේ විවාහය ගොඩක් දෙනෙක්ගේ ජීවිත බිඳ වැටෙන තැනක්, මේ විවාහය කියන්නේ පුදුම හමුවීමක්. ඇත්තටම මේ දේ හොඳටත් නරකටත් සිද්ධවෙන්න පුළුවන්. සමහර විවාහ වල එකට එක් නොවිය යුතු අය එක් වෙනවා, හැබැයි එහෙම වුනොත් ඒ ජීවිත දෙදරුම් කනවා. මේ ලෝකයට ඉපදෙන අය අතර විවාහ ජීවිත හිමි අයත් ඉන්නවා, ඒ වගේම විවාහ ජීවිතයකට නොයා යුතු අයත් ඉන්නවා. විවාහ විය යුතු කෙනෙක් විවාහ නොවීම එතරම් සැලකිය යුතු තත්ත්වයක් නොවන අතර, විවාහ නොවිය යුතු දෙදෙනෙක් විවාහ වීම අති මහත් භයානක තත්ත්වයක් වෙනවා’’

 

1997 ජනවාරි 27 වෙනි දින වෙනීරියස් සහ සෙල්වින් යුවල විවාහ දිවියට ඇතුලත් වූයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුරේදීයි. විවාහ මංගල දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලැබූ අතර, 2014 ජනවාරි 27 වෙනි දිනයට ඔවුන්ගේ විවාහ දිවියට විසි වසරක් සම්පූර්ණ විය. ඒ නිමිත්තෙන් තුති පිදීමේ දිව්‍ය පූජාව 2014 පෙබ්‍රවාරි 15 වෙනි දින සිදු කරනු ලැබූ අතර, විසි වසරක් ඇවෑමෙන් තුති පිදීමේ මංගල පූජාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින්ම සිදු කිරීම විශේෂත්වයකි.

 

දරු තිදෙනෙකුගේ දෙමාපියන් බවට පත්වී සිටින වෙනීරියස් සහ සෙල්වින් යුවල වෙනුවෙන් දෙවිඳුන්ට තුති පිදීමේ මංගල පූජාවේ දී, විවාහ ජීවිතය පිළිබඳව බොහෝ කරුණු කාරණා මතුකර දැක්වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා මෙලෙසද ප්‍රකාශ කල සේක.

 

‛‛යම් දෙදෙනෙක් අපි විවාහ වෙමු කියල හිතන්නේ බොහෝ විට කුමක් හෝ පසුබිම් කතාවක් ඇතුවයි. කුමක් හෝ පෙර ජීවිත සමයක කුමක් හෝ බැඳීමක් බොහෝ දුරට අනිවාර්යෙන්ම තියෙනවා. ඉතින් මේ හමුවීම හොඳට වගේම නරකටත් සිද්ධවෙන්න පුළුවන්. සමහර හමුවීම් පළිගැනීමේ චේතනාවෙන් සිද්ධ වෙන්නත් පුළුවන්.’’

 

‛‛විවාහය කියන්නේ ජීවිතයේදී එකම එක් වතාවක් අරගන්න තීරණයක්. ජිවීතයේ මේ වැදගත් තීරණය බොහෝම පරිස්සමෙන් ගත යුතු දෙයක්. විවාහයක් සම්බන්ධයෙන් තීරණ ගන්නවනම්, කලබලනොවී, හොඳට බුද්ධිමත්ව කල්පනා කරල බොහෝම ප්‍රවේශමෙන් ඒ තීරණය අරගන්න.’’

 

මේ සියළු කරුණු සවිස්තරව පහදා දුන් ශූද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා අවධාරණයෙන් ප්‍රකාශ කලේ, ‛‛ජීවිතයේ භයානකම වංගුව විවාහය’’ බවයි.

 

වෙනීරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියගේ විවාහ දිවියේ විසිවන සංවත්සර දිව්‍ය පූජා මෙහෙයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දේශණය පැවැත්වූ අයුරු සහ දිව්‍ය පූජාවෙන් පසුව ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ පැවති පොදු හමුව ආරම්භයේදීම වෙනීරියස් සහ සෙල්වින් යුවල සිය දරු තිදෙනා ද සමගින් ශුද්ධෝත්තම අපොස්තුළු තමන්ව සමුවූ අයුරු මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.