දැනට අවුරුදු කීපයක සිට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විවිධ පුද්ගලයන් මේ ලොව හැරදා යන්නට යන අවසන් මොහොතට සහභාගි වී ඇති බවත්, කෙනෙකුගේ මරණාසන්න මොහොත හෙවත් ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නතර කරන්නට යන මොහොත ඉතාමත් තීරණාත්මක අවස්ථාවක් බවත් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2018 නොවැම්බර් 17 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට රැස්ව සිටි සැදැහැවතුන් අමතා ප්‍රකාශ කරනු ලැබුවා.

 

මෙලොවින් වියෝවූ සියල්ලන් සමරා එදින ශුද්ධෝත්තම අපොස්තුළුකුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයට සැදැහැවතුන් රැස්ව සිටියේ වැසි ඇදහැලෙමින් පැවති කාලගුණයක් තුලයි.

 

ආශ්වාස ප්‍රාශ්වාස කරන ක්‍රියාවලිය නතර කරනු ලබන මොහොත හෙවත් අවසන් හුස්ම හෙලීම අප සියල්ලන්ගේම ජීවිතයට උදාවන බවත්, නින්දේ දී හෝ මෙම අවස්ථාව උදාවූවහොත් පසුදින උදේට එම්බාම් කාමරයට ගොස් හැඳ පැළඳ ගැනීමට සිදුවන බවත් පැවසූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, තම තමා ජීවිතය ගතකල පිළිවෙල අනුව සතුටින් හෝ මහත් භීතියකින් දෑස් වසා ගන්නට සිදුවන බවත් විවිධ උදාහරණයන් ද සමගින් උන්වහන්සේ පැහැදිලි කර දෙනු ලැබුවා.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට සවන් දෙමින් උන්වහන්සේ ඉදිරියේ රැස්ව සිටි සැදැහැවතුන්ට යම් ක්‍රියාකාරකමක් පවසමින්, දකුණු අත උඩට ඔසවන ලෙසත්, නැවත එය පහත හෙලන ලෙසත් පවසා, ඊළඟට වම් අත උඩට ඔසවන ලෙසත්, නැවත එය පහත හෙලන ලෙසත් පවසා, බෙල්ල ද වමට සහ දකුණට හරවන ලෙස වදාළ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, වම් අතට සහ දකුණු අතට ද බෙල්ලට ද පණ තිබුන නිසා එලෙස ක්‍රියාකාරකම් කියන විට දී කරනු ලැබුවත්, ඒ සියල්ල කරනු ලැබුවේ, එලෙස කිරීමට ශරීර ශක්තිය තිබුන නිසා නොවේ දැ යි ප්‍රශ්ණ කලා.

 

අංශභාගය වැනි රෝගයකින් ඔත්පලවූවකුගේ ශරීරයේ අංශයක්ම පණ නැති නිසා ඔවැනි ක්‍රියාකාරකමක් කිරීමට ශක්තියක් නොමැති බව පවසනු ලැබූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, මරණය සිදුවන මොහොතේ දී අත් පා වැනි ශරීරයේ සියළු අංශයන්හි විහිදී ඇති ශක්තිය එක තැනකට ඇදී එන බවක් දැනෙන බවත්, එම අවස්ථාවේ බොහෝ දෙනෙක් භයට පත්වන බවත්, සමහර දෙනෙකුට විශාල සනීපයක් දැනෙන බවත් උන්වහන්සේ සවිස්තරව පැහැදිලි කලා. ඒ සමගම තමන් ජීවත්ව සිටිය දී කරනු කියනු ලැබූ සියල්ලක් චිත්‍ර පටයක් මෙන් දකින්නට ලැබී ඒ අනුව භයට පත්වීම හෝ මහත් සනීපයක් දැනෙමින් සතුටට පත්වන බවත් පැහැදිලි කරදෙනු ලැබුවේ සියළු සැදැහැවතුන්ගේ පූර්ණ අවධානය ද ලබා ගනිමිනුයි.

 

මෙලොවින් වියෝවූවන් සමරා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී පවත්වනු ලැබූ දිව්‍ය පූජා මෙහෙයේ විවිධ අවස්ථා කිහිපයක් මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි