2012 ඔක්තෝම්බර් 27 වෙනි සෙනසුරාදා සවස පොදු හමුව අවස්ථාවේදී, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් වෙතින් මුල් අකුරු ඉගෙනීම සඳහා කුඩා දැරියක් තම දෙමාපියන් ද සමගින් උන්වහන්සේ වෙත පැමිණියාය. ශුද්ධෝත්තම අපොස්තලික පිය හස්තයෙන් ආශිර්වාදය ලබා යුග දිවිය ඇරඹූ, මීගමුවේ වෙනීරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියගේ බාල දියණිය වන දෙව්ප්‍රසාදි සාමතිළිණා කුඩා දැරිය පාසැල් අධ්‍යාපනය ඇරඹීමට සූදානම්ව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගෙන් මුල් අකුරු ඉගෙනීම බලාපොරොත්තුව විය. වෙනීරියස් ප්‍රනාන්දු මහතා අපොස්තලික ආරක්ෂක සේවයේ ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වේ.

 

ඔවුන්ගේ බලාපොරොත්තුව ඉටු කරමින් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා දෙව්ප්‍රසාදි සාමතිළිණා දැරියට අකුරු කියවනු ලැබූ අතර, අනතුරුව කුඩා දැරියට ආශිර්වාද කර, දෙමාපියන් අමතා මෙසේ අනුශාසනා කරණු ලැබූහ.

 

‛‛ලෝකය ගැන තවමත් කිසිත් නොදන්නා මේ දියණියට දෙමාපියන් ලෙසින් ඔබ ඉගැන්විය යුතු ප්‍රධානම විෂය, ‛ශීලාකාරකම’ නැමැති විෂයයි. කුමන විෂයක් පිළිබඳව මේ දැරිය මහාචාර්‍යයවරියක් වූවත්, ශීලාචාරකම නැමැති විෂයේ හෝඩියවත් නොදැන සිටියොත්, එය මේ මුළු සමාජයටම දෙමාපියන් ලෙසින් ඔබ දෙදෙනා විසින් කරන ලොකු අපරාධයක්. මම එහෙම කියන්නේ, ශීලාචාරකම නොදන්නා අශීලාචාර මිනිසුන් නිසා මේ ලෝකය ජීවත් වීමට අපහසු භයානක තැනක් වෙලා.’’

 

1994 ජනවාරි 27 දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර තුල පැවැත්වූ, වෙනීරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියගේ විවාහ මංගල්‍ය පූජාව ගැන ද සිහිපත් කල ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, ඔවුන් අමතා තව දුරටත් මෙසේ ද ප්‍රකාශ කල සේක.

 

‛‛මෙවැනි ළදරු වයස් පසු කර හරි වැරදි තේරුම් ගැනීමට හැකි වයසට පැමිණිලා යයි කියන ලාබාල තරුණියන්ගේ ඇඳුම් පැළඳුම්වලම ඇති අශීලාචාරකම නිසා, පූජනීය ස්ථානයකට පැළඳිය යුතු ඇඳුම් පිළිබඳවත් අද උගන්වන්න වෙලා. ඒ නිසා කුඩා කල පටන්ම ශීලාචාරකම උගන්වන්න.’’

 

වෙනීරියස් ප්‍රනාන්දු මහතාගේ වැඩිමහල් දියණියට ද, ඔවුන්ගේ එකම පුතුට ද අකුරු කියවනු ලැබුවේ ශුද්ධෝත්තම අපොස්තුළු තුමා විසිනි. වැඩිමහල් දියණිය දැන් අපොස උසස් පෙළ හදාරණ ශිෂ්‍යාවකි. එම දියණිය ගැන ද මහත් ප්‍රසාදයෙන් කතා කරමින් දෙමාපියන් අමතා අවසාන වශයෙන් ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙසේ ද ප්‍රකාශ කල සේක.

 

‛‛ඔබ දෙපලට ඒ වගකීම මේ කුඩා දියණිය වෙනුවෙන් ද කල හැකි බව මට විශ්වාසයි. ඔයගොල්ලන්ගේ වැඩිමහල්ම දියණියටත් මම මෙලෙසම මුල් අකුරු කියෙව්වා. ඒ දියණියට ඔබ දෙපල ආදර්ශයෙන්ද, අවවාදයෙන්ද ‛ශීලාචාරකම’ උගන්වා තිබෙනවා. නූතන තරුණියන්ට පමණක් නොවෙයි, තරුණියන් වගේ හැසිරෙන සමහර නූතන අම්මලාටත් ඔබගේ වැඩිමහල් දියණිය ආදර්ශයක්.’’

 

2012 ඔක්තෝම්බර් 27 වෙනි සෙනසුරාදා සවස පොදු හමුව අවස්ථාවේදී, අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා, මීගමුවේ වෙනීරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියගේ කනිටු දියණිය වන දෙව්ප්‍රසාදි සාමතිළිණා දැරියට මුල් අකුරු කියවනු ලැබූ අවස්ථාව පහත ඡායාරූප මගින් දැකගත හැකියි.