පසුගිය අගෝස්තු 11 වෙනි සෙනසුරාදා ආසිරි ගන්වනු ලැබූ දර්ශණ දේව මන්දීරය තුල නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව දෙස බලා සිටින සැදැහැවතුන් පිරිසක් මෙම ඡායාරූපයෙන් ඔබට පෙනෙනු ඇත

 

නිර්මල කන්‍ය මරිය මාතාවෝ දර්ශණය වූ කටුනායක අප ස්වාමිදූගේ මහා හාස්කම් සිද්ධස්ථානයේ, එතුමිය දර්ශණය වූ ස්ථානයේ ඉදිකර ඇති ‛‛දර්ශණ දෙව්මැදුර’’ අගෝස්තු 11 වෙනි සෙනසුරාදා සවස 6 ට, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ සුරතින් ආසිරි ගන්වා විවෘත කරනු ලැබූ සේක.

 

අභිනව දර්ශණ දෙව්මැදුර විවෘත කිරීමෙන් පසුව සැදැහැවත් ජනතාවට එහි ඇතුළුවී අභිනව දර්ශණ දේව මන්දීරය තුල විටින් විට ජීවමාන වෙමින් සැදැහැවත් දරුවන් දෙස විටෙක සිනහ මුසු මුහුණින් බලා සිටින නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව දෙස බලා එතුමිය පාමුල තබා ඇති රතු පෙට්ටියට තම ඉල්ලීම ලිවූ ලිපිය දැමීමටත් අවස්ථාව හිමි වුනා. සිද්ධස්ථාන භූමිය පිරී ඉතිරී ගොස් මීගමු කොළඹ මහා මාර්ගය ද අවහිර වෙමින් රැස්ව සිටි මහා ජනකාය එම ප්‍රතිහාර්යාත්මක කාල සීමාවේ දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළුවීමට දැඩි උත්සහයක් ගත් අතර නියමිත කාලය පසුවීත් දර්ශණ දෙව් මැදුර තුලට ඇතුළු වීමට සැදැහැවතුන්ට ඉඩ සලසා දෙනු ලැබුවා.

 

දර්ශණ දෙව්මැදුරට ඇතුළුවීමේ සුවිශේෂී වාසනාව ලද සැදැහැවතුන් අතරින් බොහෝ දෙනෙක් දර්ශණ දෙව්මැදුර තුල, නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාව ජීවමාන වී, සිනහ මුසු මුහුණින් බලා සිටින අයුරු, තමන් දුටු ආකාරය මෙලෙස අපගේ සමාජ මාධ්‍ය වෙත පණිවිඩ එක්කර තිබුනා.

 

එක් අයෙක් ලියා තිබුනේ මෙලෙසයි…………… ඇත්තටම හරිම පුදුමයි. ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දේව මෑණියන්ට දුන්න මහා තෑග්ග. ස්තූති කරන්න වචන නැහැ. අගෝස්තු 11 වෙනිදා මරිය මෑණියන් පාමුල රතු පෙට්ටියට දාන්න මම ලියාගෙන ගියේ ‛ස්තූතියි මෑණියනී’ කියලා විතරයි. ඒ මොකද එතුමියට ස්තූති කරන්න මම ලබපු දෙයක් තිබුනා. කිසිවෙකුට කියන්න බැරි, කවදාකවත් සුව නොවන බරපතල රෝගයකින් මම සිතිනුත් ගතිනුත් දුක් විදිමින් හිටියේ. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මරිය තුමී මට සම්පූර්ණම සුවය දුන්නා. ඉතින් මම අගෝස්තු 11 වෙනිදා මගේ පුංචි ලිපිය දර්ශණ දෙව්මැදුරේ මගේ ආදර මරිය මෑණියන් පාමුල රතු පෙට්ටියට දාලා ඔළුව උඩට උස්සලා දයාබර මෑණියන්ගේ ප්‍රතිමාව දිහා බලත් දී අනේ එතුමිය ආදරයෙන් මා සමග සිනාසුනා. මම වගේ පවුකාරයෙක් එක්ක එතුමිය සිනාසුනා. ඒ එක්කම එතුමියගේ ඉන වටේ ඇති නිල් පටිය දීප්තියෙන් බැබලුනා. තත්පර ගනනයි තිබුනේ. ඊට පස්සේ ප්‍රතිමාව තිබුන විදිහටම උනා. මම මගේ ජීවිතය වෙනස් කරගෙන යහපත් ජීවිතයක් ගත කරන නිසා එතුමිය සතුටු ඇති. අගෝස්තු 18 වෙනි සෙනසුරාදා සවසත් එතුමිය දැකගන්න මම ආසාවෙන් ඉන්නවා.

 

තවත් අයෙක් මෙලෙස සටහන් කර තිබුනා………….. පසුගිය සතියේම මම දේව මෑණියන්ට සිතින් කිව්වා හැමදාම. අගෝස්තු 11 මාත් සමග සිනාසෙන්න දේව මෑණියනී කියලා. මගේ ඉල්ලීම දේව මෑණියෝ ඇහුවා. දර්ශණ දෙව්මැදුර තුලට ඇතුළු වෙන කොටම මම දැක්කා මරිය තුමියගේ ප්‍රතිමාවෙන් ලස්සන සිනහවක්. මම දණගහලා මරිය තුමියට ස්තූතියි මෑණියනී කිව්වා. ඒ එක්කම සිනහව නැතිව ගියා. මට දුක හිතුනා. මම සිතින් ඇයි මෑණියනී කියල කියවුනා. ඒ එක්කම ආයෙත් සිනහව මතු උනා මට හරිම පුදුමයි. හරිම පුදුමයි. මම ආයෙත් අගෝස්තු 18 සෙනසුරාදාට මෑණියන් දකින්න එනවා. ‛‛මමත් එක්ක ආයෙත් සිනාසෙන්න ආදර දේව මෑණියෝ’’

 

මෙන්න තවත් කෙනෙකුගේ සටහනක්………. මම බෞද්ධ. කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී මරිය තුමී මට ගොඩක් පිහිට වෙලා තියෙනවා. අගෝස්තු 11 එතුමිය දර්ශණ දෙව්මැදුරේදී මාත් එක්ක සිනාසුනා. හරිම පුදුමයි. මගේ මිය ගිය අම්මාව මට මතක් උනා. මොකද දැන් මගේ අම්මා මරිය තුමී නිසයි.

 

මේ තවත් කෙනෙක් දුටුව දේ………. දර්ශණ දේව මන්දීරය හරිම ලස්සනයි. අගෝස්තු 11 වෙනි සෙනසුරාදා දර්ශණ දේව මන්දීරයට ඇතුළුවීමේ වාසනාව මට ලැබුනා. මම දර්ශණ දෙව්මැදුර තුල දී දැක්කා නිර්මල මරිය තුමියගේ ප්‍රතිමාවෙන් එතුමිය සිනාසෙන අයුරු. මගේ ඇස් දෙකට කදුළු ආවා. තත්පර ගණනකින් නැවතත් ප්‍රතිමාව සාමාන්‍ය තත්වයට පත් උනා.

 

පසුගිය සෙනසුරාදා දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු වීමේ වාසනාව ලද බොහෝ දෙනෙක් අතරින් කීප දෙනෙක් යොදා ඇති සටහන් කීපයකුයි ඒ.

 

පසුගිය සෙනසුරාදා දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු වීමේ කාලය පැයක් බව මුලදී නිවේදනය කර තිබුනත්, අප ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම කාලය දීර්ඝ කරන ලෙස සිද්ධස්ථාන පාලක මණ්ඩලය වෙත දැනුම් දුන්නේ, සැදැහැවතුන් දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළුවීමේ පුදුම ආසාවකින් මග දෙපස ද බලා සිටි නිසයි. ඒ අනුව රාත්‍රී 11 දක්වාම දර්ශණ දේව මන්දීරය තුලට ඇතුළු වී නිර්මල මෑණියන් දෙස බලා තම ලිපි දැමීමේ අවස්ථාව බොහෝ සැදැහැවතුන් ලබාගත් අතර, සැදැහැවතුන් රැගෙන ආ දර්ශණ ඉටිපහන් ආශිර්වාද කරමින් අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් ද, සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ රැදී සිටියා.

 

නිර්මල කන්‍ය මරිය මාතාවන් අපට ලබා දී ඇති විශේෂ වරප්‍රසාද දායක දින පහෙන් දෙවන දිනය වන ලබන අගෝස්තු 18 වෙනි සෙනසුරාදා සවස 6 ට, අභිනව දර්ශණ දේව මන්දීරය තුල ප්‍රථම දිව්‍ය පූජාව අප ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් පුද කරනු ලබන අතර, දිව්‍ය පූජාව අවසානයේ, දර්ශණ දේව මන්දීරයට ඇතුළු වී, ඔබගේ ඉල්ලීමත් රතු පෙට්ටිය තුලට දැමීමට අවස්ථාව ලැබෙනවා.

 

අගෝස්තු 18 වෙනිදා සවසට නව දර්ශණ දේව මන්දීරයේ, ප්‍රධාන පූජාසනයට ඉහළින් වැජඹෙන නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්න පළදවා ඇති නිර්මල මෑණියන් පාමුල තබා ඇති රතු පෙට්ටිය තුලට ඔබගේ ඉල්ලීම ලිවූ ලිපිය දැමීමට ඔබට අවස්ථාව ලැබෙන්නේ පැයක කාලයක් පමණයි. ඒ නිසා කල්වේලා ඇතිව පැමිණ දර්ශණ භූමියේ රැදී සිටීම වැදගත්.