පැතිර යමින් පවත්නා වසංගත තත්වය මධ්‍යයේ ජූලි 31 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට රැස්වූ සැදැහැවතුන් වෙනුවෙන් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විශේෂයෙන් යාච්ඤා කල සේක.

 

සිය කුටියේ සිට දෙව් මවුන් වෙත කරනු ලැබූ යාච්ඤාව සිද්ධස්ථාන භූමිය තුල සවිකර තිබූ ශබ්ද විකාශණ මගින් විසුරුවා හරිනු ලැබූ අතර සැදැහැවතුන් මහත් ශ්‍රද්ධාවෙන් උන්වහන්සේගේ වදන් අසා සිටිනු දක්නට ලැබුණි. උන්වහන්සේගේ යාච්ඤාවට පෙර සැදැහැවතුන් අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ දර්ශණ ඉටිපහන් දල්වා ජපමාලය උච්චාරණය කලහ.

 

වසංගතය මැදින් දුර බැහැර නොතකා පැමිණ සිටි සැදැහැවතුන් වෙනුවෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා යාච්ඤා කිරීම ඔවුන්ගේ මහත් අස්වැසිල්ලට හේතු විය. නිර්මල කන්‍ය මරිය මාතාවන්ව විසිතුන් වාරයක් තම දෙනෙතින් දැක ගැනීමේ සුවිශේෂී දුර්ලභ වාසනාව ලද ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සිය යාච්ඤාව අවසානයේ, නිහඩව යාච්ඤා කිරීම සඳහා සැදැවතුන්ට ද විනාඩි කිහිපයක අවස්ථාවක් සලසා දීම විශේෂත්වයකි.

 

සියළු සැදැහැවතුන් වෙනුවෙන්, රජයේ සෞඛ්‍ය නීතීන්ට අනුව සියළු සෞඛ්‍යාරක්ෂිත විධිවිධානයන් යෙදීමට සිද්ධස්ථාන පාලක මණ්ඩලය උපරිම පියවර ගෙන තිබුණි.

 

අගෝස්තු 7 වෙනි ලබන සෙනසුරාදාත් සවස 5 ට අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ ජපමාලය උච්චාරණය කෙරෙන අතර, ජපමාලය අවසානයේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින් දෙව් මවුන් වෙත, එදින පැමිණ සිටින සියළු සැදැහැවතුන් වෙනුවෙන් විශේෂ යාච්ඤාවක් ඔප්පු කෙරෙනු ඇත.

 

ජූලි 31 වෙනි සෙනසුරාදා සවස 5 ට දර්ශණ ඉටිපහන් දල්වා අසිරිමත් දෙව් මවු ප්‍රතිමාව ඉදිරියේ ජපමාලය උච්චාරණය කිරීම සිදු වූ අවස්ථාව මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි