2017 අප්‍රියල් 29 වෙනි දින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් පළඳවනු ලැබීය.

 

එවැනි වටිනා ඔටුන්නක් නිර්මල කන්‍ය මරිය තුමියගේ ප්‍රතිමාවට පැළඳවනු ලැබුවේ ඇයි දැයි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා 2017 ජූනි 10 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී සැදැහැවතුන් පිරිසක් සමග හාස්කම් යාච්ඤාව උච්ඡාරණය කිරීමට පෙර, පැහැදිලි කරනු ලැබූ සේක.

 

කාලයක් නිර්මල කන්‍ය මරිය තුමිය වෙත මහත් විශ්වාසයකින් ද ආදරයකින් ද ගෞරවයකින් ද යුතුව ජීවත් වූ පවුලක් පසුව ශුද්ධවූ බයිබලය හා සබැඳි කිතුණු කණ්ඩායමක් සමග එක්වී, කන්‍ය මරිය තුමී සාමාන්‍ය කාන්තාවක් බව ද, එතුමියට ගරු කිරීම පාපයක් බව ද, එතුමියගේ ප්‍රතිමා ගෙවල්වල තබා ගැනීමෙන් අඳුරු බලයන් ගෙවල් තුල සැරිසරන බවද එම කණ්ඩායම කල ප්‍රකාශය නිසා, මෙතෙක් කල් මරිය තුමියට ගෞරවය කරනු ලැබූ පවුල, ඔවුන්ගේ නිවස තුල තබාගෙන ඒ ඉදිරියේ පහණ දැල් වූ දෙව් මවු ප්‍රතිමාව නිවසින් ඉවත් කර ඇත.

 

අප දයාබර මෑණියන්ගේ ප්‍රතිමාව නිවසින් ඉවත් කර ඇත්තේ ද ඉතාමත්ම නින්දිත පිළිවෙලටය. එනම් ඔවුන්ගේ නිවස ඉදිරිපිටින් ගලා යන කුණු වතුර සහිත කාණුවකට දෙව් මවු ප්‍රතිමාව දමා ඇත. එම කානුවේ ගල් කීපයකට හිරවී මෙම ප්‍රතිමාව සති කීපයක්ම තිබී, ප්‍රතිමාව උඩින් යටින් දෙපැත්තෙන් මඩ වතුර, අපිරිසිදු කුණු වතුර ගලා යාමෙන් පතුරු ගැලවී දුර්වර්ණ වී ඇත.

 

ඒ අසලින් ගමන් කල බෞද්ධ බැතිමතෙක් දෙව් මවුන්ගේ මෙම ප්‍රතිමාව දැක කාණුවෙන් ඉවතට ගෙන ඒ ලඟම ඇති ඔහුත් හඳුනන කිතුණු නිවසින් විමසා ඇති අතර එවිට ඉහත කී සියල්ල හෙළිවී ඇත. මෙම බෞද්ධ බැතිමතාට ඔවුන් පවසා ඇත්තේ ඒ වන විට ප්‍රතිමාව කාණුවට දමා සති හතරක් පමණ වන බවකි. ඔහුට ද මරිය තුමීගේ ප්‍රතිමා නිවෙස්වල තබා ගැනීම අසුභ බව පවසා ආපසු කාණුවටම දමන ලෙස පවසා ඇතත්, මේ පිංවන්ත බෞද්ධ බැතිමතා මෙම දෙව් මවු ප්‍රතිමාව ඔහුගේ ගෙදර ගෙනගොස් පිරිසිදු කර පසුව දා ඔහු හඳුනන, දෙව් මවුන්ට ගෞරව කරන, ඔහුගේ මිතුරෙකුට මේ සියළු විස්තර පවසා භාර දී ඇත. මේ මිතුරා අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ මිතුරෙකි. දැඩි ලෙස අවමානයට පත් වූ මෙම දෙව් මවු ප්‍රතිමාව භාරදිය යුත්තේ නිර්මල මරිය තුමියව ප්‍රතිමාවකින් පමණක් නොව ජීවමානවම සියැසින් දැකගත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ට බව සිතූ ඔහු මේ දුක් මුසු පුවත ද පවසා, කාණුවකින් සොයාගත් මේ දෙව් මවු ප්‍රතිමාව අපොස්තලික මාධ්‍ය අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාට භාර දී ඇත. ඒ මහතා මේ සියළු විස්තර සමගින් මේ දෙව් මවු ප්‍රතිමාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ දෝතට පත් කර ඇත.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ අභිනව දර්ශණ දේව මන්දීරයේ ප්‍රධාන පූජාසනයට ඉහළින් ස්ථාපිත කෙරෙන දෙව් මවු ප්‍රතිමාවට නිල් මැණික් සහිත රත්තරන් ඔටුන්නක් 2017 අප්‍රියල් 29 වෙනි දින සවස පළඳවනු ලැබීමට ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා තීරණය කර ඇත්තේ මෙම සිදුවීමයි.

 

මේ කරුණ ඔස්සේ 2017 ජූනි 10 වෙනි දින ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මරිය තුමී ගැන බොහෝ දේ පවසනු ලැබුවේ, මඩ වතුර පිරි කානුවෙන් උන්වහන්සේ අතට පත්වූ දෙව් මවු ප්‍රතිමාව ද පෙන්වමිනි.

 

දෙව් මවු ප්‍රතිමාවක් නිවසේ තබා ගැනීම සාපයක් නොව ආශිර්වාදයක් බව පැවසූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දෙව් මවුන්ට ගරු කිරීම සියළුම ක්‍රිස්තියාණින්ගේ යුතුකම බව දීර්ඝව පැහැදිලි කරනු ලැබුවේ ශුද්ධවූ බයිබලයෙන්ම කරුණු උපුටා දක්වමිනි.

 

කාලයක් නිර්මල කන්‍ය මරිය තුමිය වෙත මහත් විශ්වාසයකින් ද ආදරයකින් ද ගෞරවයකින් ද යුතුව ජීවත් වූ පවුලක් පසුව ශුද්ධවූ බයිබලය හා සබැඳි කිතුණු කණ්ඩායමක් සමග එක්වී තම නිවසේ පහන දල්වා දෙව් මවුන් වෙත ගෞරව දැක්වූ ප්‍රතිමාව කුණු වතුර සහිත කානුවකට දැමූ පසු ප්‍රතිමාවට සිදු වූ දේ විස්තර කරමින් 2017 ජූනි 10 වෙනි සෙනසුරාදා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා එම ප්‍රතිමාව ද පෙන්වමින් සැදැහැවතුන්ට කරුණු පැහැදිලි කරනු ලැබූ අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි