ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මෑණියන් වූ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වී 2018 ජූනි 26 වෙනි දිනට වසර අටක් සම්පූර්ණ වේ. 2010 ජූනි 26 වෙනි දින එතුමිය ස්වර්ගස්ථ වන විට අනූවන වියෙහි පසුවූවාය.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ රැකවරණය ඇතිව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ගතකල එතුමිය, ලොවට අපොස්තුළුතුමෙකු ලබා දුන් මවක් ලෙසින් බැතිමතුන්ගේ ද ආදරයට සහ සැලකිල්ලට ද ලක් වූ අතර අවසන් මොහොත දක්වා යහපත් සිහියෙන් පසුවූවාය.
තම පුතණුවන් වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ට නිර්මල කන්‍ය මරිය තුමිය දර්ශණය වූ අවස්ථාවන් පිළිබදව මෙන්ම සිය පුතණුවන්ට ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ දර්ශණය වී අපොස්තුළුවරයට තෝරාගනු ලැබූ අවස්ථාව ගැන ද එතුමිය බොහෝ විස්තර බැතිමතුන්ට පවසා ඇත.
ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණිය ස්වර්ගස්ථ වීමෙන් පසුව, එතුමියගේ දේහය කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, එවකට පැරණි දර්ශණ දෙව්මැදුරේ මහජන ගෞරවය සදහා තැන්පත් කර තැබුන අතර ජූනි 29 වෙනි දින, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ අවමඟුල් දේව මෙහෙයෙන් පසුව, කටුනායක සුසාන භූමියෙහි දේහය මිහිදන් කරන ලදී.
අපොස්තුළුතුමෙකුට පමණක් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගෙන්ම හිමි වන, ආත්ම විසදීමේ බලය හිමිවුන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, අපොස්තුළුතුමෙකු වශයෙන් උන්වහන්සේ සතු එම බලය ඔස්සේ සිය මෑණියන්ගේ ආත්මයට කුමක් සිදුවී ඇතිදැයි පසුව කරනු ලැබූ සොයා බැලීමේ දී උන්වහන්සේට දැනගැනීමට ලැබුනේ, සිය මෑණියන් ස්වර්ග රාජ්‍යය දිනාගෙන ඇති බවයි.
මේ අනුව සිය මෑණියන්ගේ දේහය කටුනායක සුසාන භූමියෙන් ගොඩගෙන, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ තැන්පත් කල යුතු යයි සිතූ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ඒ සදහා අධිකරණයෙන් අනුමැතිය ඉල්ලා සිටියහ. ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ඉල්ලීමට ගරු අධිකරණය ඒ සදහා උන්වහන්සේට අවසර දෙනු ලැබීය.
මිහිදන් කරනු ලැබූ මළ සිරුරු ගොඩගනු ලැබූ අවස්ථාවන් අප අසා ඇත. ඒ සියල්ලක් සිදු වූයේ අධිකරණයේ නියෝගයන් මතය. අධිකරණයෙන් වූව ද එවැනි නියෝගයන් කරනු ලැබුවේ, මියගිය පුද්ගලයාගේ මරණය සැක සහිත මරණයක් ලෙසින් ඉදිරිපත් වූ පැමිණිල්ලක් නිසාවෙන් මළ සිරුර වෛද්‍ය පරීක්ෂණයකට යොමු කිරීම සදහාය. එවැනි මල සිරුරු අධිකරණ වෛද්‍යවරයා ඉදිරිපිට දී ගොඩගන්නා අතර, ඉන්පසු මල සිරුර රැගෙන යන්නේ මරණයේ සැක සහිත බව තහවුරු කර ගැනීම සදහා වෛද්‍ය පරීක්ෂණාගාරය වෙතය.
එහෙත් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට ගරු අධිකරණය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් වෙත අනුමැතිය ලබා දුන්නේ, සිය මෑණියන්ගේ දේහය කටුනායක සුසාන භූමියෙන් ගොඩ ගෙන, උන්වහන්සේ කැමති ලෙසින් වත්පිළිවෙත් සිදුකර කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ තැන්පත් කිරීම සදහාය.
කටුනායක සුසාන භූමියේ, මහ පොළවේ පස් යට තිබූ මෙම මවු තුමියගේ දේහය, ඒ අනුව මාස තුනකට පසුව සැප්තැම්බර් 23 වෙනි දින යළිත් ගොඩ ගන්නා ලදී. පුදුමයකි, දැකගන්නට ලැබුනේ, මාස තුනක් ගතවීත්, කිසිදු නරක් වීමකින් තොරව පවතින, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මවගේ දේහයයි. මෙම සිදුවීම ශ්‍රී ලංකාවේ දුර්ලභ සහ ප්‍රථම සිදුවීම ලෙස රූපවාහිනී ප්රවෘත්ති ඔස්සේ ප්රමුඛ සිරස්තල යටතේ ද පෙන්වන ලදී.
යළි ගොඩගනු ලැබූ මාග්‍රට් අපොන්සු මැතිණියගේ දේහය, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, එවකට පැරණි දර්ශණ දෙව්මැදුරේම තැන්පත් කර, දේහය බහාලූ පෙට්ටිය විවෘත කර, නැවතත් බැතිමතුන්ගේ අවසන් උපහාර මැද, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් නැවතත් දේව මෙහෙයක් ද පවත්වනු ලැබූ අතර, ස්වර්ග රාජ්‍යය දිනාගත්, මාස තුනකට පසු යළි ගොඩගත් මේ මවගේ දේහයේ දෝත් මත ශුද්ධෝත්තම අපොස්තුළුතුමා දේව මෙහෙය අවසානයේ රතු රෝස මල් කළඹක් ද තැන්පත් කල සේක.
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මවගේ දේහය මේ වන විට, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ, අපොස්තලික සොහොන් ගැබ තුල තැන්පත් කර ඇත.
මෙම සිද්ධිය ඇසින් දුටුවන්ගේ සාක්ෂි අලලා, අපොස්තලික ප්‍රකාශණ කාර්යාංශය මගින්, ‛‛යලි ගොඩගත් මවගේ නොදිරූ දේහය’’ යනුවෙන් පොතක්, අසිරිමත් සිද්ධියේ වර්ණ ඡායාරූප ද සමග නිකුත් කර ඇත.
මේ පිළිබදව වීඩියෝව නරඹන්න මෙතැනින්
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ මවගේ දේහයෙන් ලබාගත් හිසකෙස් ස්වල්පයක් රන් කරඩුවක තැන්පත් කර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් භාරයේ තබා ඇති අතර ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ මවගේ දේහයෙන් හිසකෙස් ස්වල්පයක් ලබා ගන්නා අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකිවනු ඇත