ඇත්තටම වෛද්‍යවරයෙක් නැති, අසාධ්‍ය රෝගීන් රැසක් ඇති රෝහලක් බවට මේ රට පත් වී ඇති බවත්, මරණ වරෙන්තුව ලියාගෙන ජනතාව දෙස බලා සිටින ගෝලීය වසංගතය ඉදිරියේ සියල්ලෝම අතරමංව ඇති බවත්, ශ්‍රී ලංකාව එකම රෝහලක් බවට පත්වී ඇති බවත් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය බැතිමතුන් සමග ජපමාලය උච්චාරණය කරමින් පසුගිය සෙනසුරාදා (2021 අගෝස්තු 21) සවස ප්‍රකාශ කරනු ලැබූහ.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ සිට ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සමග සූම් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ වූ දෙස් විදෙස් බැතිමතුන් සමග දෙව් මවුන්ට ජපමාලය පුද කරනු ලැබූ උන්වහන්සේ සියළුම බැතිමතුන් වෙනුවෙන් දෙව් මවුන්ට විශේෂ යාච්ඤාවක් ද ඔප්පු කල සේක.

 

අපොස්තලික මාධ්‍ය ජාලයේ අධ්‍යක්ෂක මනෝජ් චින්තක මහතාගේ උපදෙස් පරිදි, අපොස්තලික මාධ්‍ය ජාලයේ සමාජ මාධ්‍ය ඒකකය මගින් මෙම අවස්ථාව සංවිධානය කර තාක්ෂණික කටයුතු මෙහෙයවනු ලැබීය.

 

ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ඉගැන්වීම් අනුව තම ජීවිත හැඩගස්වා ගැනීමට උත්සහ දරණ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයට අයත් දෙස් විදෙස් බැතිමතුන්ට පමණක් මෙම අවස්ථාව සීමා වී තිබුණි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ මේ සඳහාම විශේෂයෙන් තනනු ලැබූ පුදසුනක් මත, කටුනායක අප ස්වාමිදූගේ ආශ්චර්යවත් ප්‍රතිමාව ස්ථාපිත කර තිබුණ අතර, ප්‍රතිමාව වටා අලංකාරවත් ලෙස මලින් සරසා තිබුණි. බැතිමතුන් විසින් පරිත්‍යාග කර තිබුණ දර්ශණ ඉටිපහන් ද දෙව් මවු ප්‍රතිමාව පාමුළ දල්වා තිබුනි.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ, ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ තනා තිබූ පූජාසනය මත දෙව් මවුන්ගේ ආශ්චර්යවත් ප්‍රතිමාව ස්ථාපිත කර තිබුණ අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි. 2021 අගෝස්තු 21 වෙනි සෙනසුරාදා සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, සූම් තාක්ෂණය ඔස්සේ සිය බැතිමතුන් සමග ජපමාලය පුද කරනු ලැබූ අවස්ථාවේ දී මෙම ඡායාරූප ලබා ගන්නා ලදී