‛‛ලොව විවිධ ප්‍රදේශයන්හි සිදුවූ මරිය තුමියගේ දර්ශණයවීම් පිළිබඳව, එතුමියට ලැදි දරුවන්ට රහසක් නොවෙයි. එහෙත් එම දර්ශණයන් සිදුවන කාලසීමාවේදී එවැනි ස්ථානවලට සිදුවූ අවසානාවන්ත සිදුවීම් පිළිබඳව බොහෝ දෙනෙක් දන්නා අතර, නොදන්නා බොහෝ දෙනෙක් ද සිටීම ඇත්තටම අභාග්‍යයක්. මන්ද මරිය තුමියට මේ ලෝකයෙන් සිදුවන මදි පුංචිකම් ගැන අප කවුරුත් දැනගත යුතුයි. එවිට මරිය තුමිය වෙත අප දැක්විය යුතු සැලකිල්ල ගැන අපට අවදියෙන් සිටින්නට පුළුවන්.’’

 

අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙම ප්‍රකාශය කරනු ලැබුවේ 2013 අප්‍රියල් 6 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී පවත්වනු ලැබූ සන්ධ්‍යා නුවාන මෙහෙයේ දීයි. සෑම මාසයකම පළමුවන සෙනසුරාදා සවස නිර්මල කන්‍ය මරිය තුමියගේ ගෞරවය සහ මහිමය පිණිස පැවැත්වෙන මෙම සන්ධ්‍යා නුවාන මෙහෙය ආගම් භේදයන්ගෙන් තොරව මරිය තුමියට ලැදි සැදැහැවතුන් එක්වී සහභාගිවන වසර 38 ක් පැරණි දේව මෙහෙයකි. 1975 වසර මුලදී ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන් විසින් ආරම්භ කරනු ලැබූ මෙම සන්ධ්‍යා නුවාන මෙහෙය මගින් සැදැහැවතුන් ලබා ඇති අප්‍රමාණ පිහිට වරප්‍රසාද සැබවින්ම පුදුමාකාරය.

 

කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය, නිර්මල කන්‍ය මරිය තුමිය මේ වන විට විසිතුන් වාරයක් දර්ශණය වී ඇති ශ්‍රී ලංකාවේ එකම සිද්ධස්ථානය යි.

 

2013 වසරේ අප්‍රියල් මාසයේ පළමුවන සෙනසුරාදා දවස යෙදී තිබුණ, අප්‍රියල් 6 වෙනිදා සවස සිරිත් පරිදි සන්ධ්‍යා නුවාන මෙහෙය ආරම්භ වූයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේදීයි. සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැඳුර මෙම දිනවල අළුත්වැඩියා කිරීමේ කටයුතු කෙරෙන නිසා, සිද්ධස්ථානයේ පිහිටා ඇති ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු තුමන්ලාගේ නාමයන්ට කැපකර ඇති උයනේදී මෙම සන්ධ්‍යා නුවාන මෙහෙය ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනි. විවිධ ප්‍රදේශයන්ගෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානය වෙත පැමිණ සන්ධ්‍යා නුවාන මෙහෙයට සහභාගි වෙමින් සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තලික පියතුමා තව දුරටත් මෙසේ ද ප්‍රකාශ කරනු ලැබූ සේක.

 

‛‛විශේෂයෙන් පාස්කු කාලයේදී ජේසුස් ක්‍රිස්තුස් ස්වාමින් වහන්සේ කුරුසියේ ඇණ ගසා ඇති අකාරය දැක්වෙන උන්වහන්සේගේ ප්‍රතිමා අසලට රොක් වී, උන්වහන්සේගේ ප්‍රතිමාවන්වලට අද ජනතාව දක්වන්නා වූ ගෞරවය දකින විට, ජේසුස් ස්වාමින් වහන්සේ ජීවත්ව සිටියදී උන්වහන්සේට ජනතාව කොතරම් ආදරයක් සහ ගෞරවයක් දක්වන්නට ඇතිදැයි කියා කිතුණු නොවන ජනතාව කල්පනා කරන්නට පුළුවන්. නමුත් සිද්ධවුනේ හාත්පසින්ම වෙනත් දෙයක්. උන්වහන්සේ තෝරාගත් අග්‍ර ශ්‍රාවකයන් අතරෙන් පවා කුරුසිය පාමුළ රැඳී සිටියේ ජුවාම් නැමැති අපොස්තුළු තුමා පමණයි. ජීවත්ව සිටින පුද්ගලයාට වඩා මියගිය පුද්ගලයාට ප්‍රසිද්ධියේ ගෞරවය දක්වා, මියගිය තැනැත්තා ජීවත්ව සිටියදී එම පුද්ගලයාට අනික් අය කොතරම් ආදරය කලාදැයි පෙන්වීමට උත්සහ දරණ සමාජයක් අද ද අපට දැකිය හැකියි. මියගිය දෙමාපියන්ගේ දේහයන්ට අද දරුවන් දක්වන ගෞරවය, ඔවුන්ගේ මරණ සංවත්සරවලදී දාන දීමට දක්වන උනන්දුව මීට කදිම උදාරණයි.’’

 

සිය කෙටි දේශණය හමාර කරමින් ශුද්ධෝත්තම අපොස්තලික පියතුමා මෙසේ ප්‍රකාශ කල සේක.

 

‛‛මරිය තුමිය අපට ඇති ආදරයේ සංකේතය මේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයයි. දැනට දශක තුනකටත් වඩා වැඩි කාලයක සිට දෙව් මවුන්ගේ ආදරය සොයාගෙන විවිධ ප්‍රදේශයන්ගෙන් ජනතාව මෙහි පැමිණ තිබෙනවා. ආගම් භේදයකින් පවා තොරව, කිසිදු භේදයක් නැතිව ජනතාව දෙව් මවුන්ගේ ආදරය සොයා පැමිණියා, දෙව් මවුන්ගේ ආදරයේ සංකේතය වන මෙම සිද්ධස්ථානය සොයා පැමිණියා. දෙව් මවුන් ද කිසිදු භේදයකින් තොරව එතුමිය සොයා පැමිණි දරුවන්ට පිහිට වී ඔවුන්ට සැනසීම ලබා දුන්නා. අප සැමගේ ජීවිත සැනසීම වූවේත්, ජීවිත සැනසීම වන්නේත් මරිය තුමියයි. අපි දිනපතාම එතුමියව සිහිකරන්නට ඕනා. එතුමියව අපට දුන්නාවූ ජේසු තුමන්ව ද අපි කෘතගුණයෙන් යුතුව සිහි කරන්නට ඕනා.’’

 

2013 අප්‍රියල් 6 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තලික පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ සන්ධ්‍යා නුවාන මෙහෙයේ අවස්ථාවන් පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.