අති උතුම් රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් විසින් 2014 නව වසරට ආසිරි පැතීමේ මංගල දිව්‍ය පූජා යාගය මෙවරත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු උයනේ තනා තිබූ විශේෂ පීඨිකාව මත දී පවත්වනු ලැබුවේ, ජාති, ආගම් භේදයකින් තොරව විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ සිටි බැතිමතුන් රැසකගේ ද බැතිමත් සහභාගිත්වයෙනුයි.

 

දෙසැම්බර් 31 වෙනි දින රාත්‍රී 11.45 ට, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ඉතා සන්සුන් ගමනින් ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ, විශේෂ පීඨිකාව වෙත සම්ප්‍රාප්ත වූ අතර, පනස් සය හැවිරිදි ශුද්ධෝත්තම අපොස්තුළුතුමා රන්වන් පැහැති පූජා ඇඳුම්වලින් සැරසී සිටියහ.

 

හරියටම මධ්‍යම රාත්‍රී 12 ට, 2014 නව අවුරුදු උදාවත් සමග රැව් පිළිරැව් දුන් සීනු හක්‍ෂ මධ්‍යයේ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා නව අවුරුදු උදාව දැනුම් දෙමින්, රැස්ව සිටි සියළු සැදැහැවතුන්ට උදා වූ 2014 නව අවුරුද්ද සඳහා සුභ පතනු ලැබුවා.

 

මෙදින නව අවුරුදු දිව්‍ය පූජා මෙහෙයේ දී, අළුත් අවුරුද්දේ ප්‍රථම ආහාරය ලෙසින්, ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය පූපය විලසින් ද, උන්වහන්සේගේ ශ්‍රී රුධිරය මිදි යුෂ විලසින් ද, ශුද්ධෝත්තම අපොස්තුළුතුමා විසින් සැදැහැවතුන් වෙත ප්‍රධානය කිරීම විශේෂත්වයක්.

 

ඉහළ ඡයාරූපයෙන් දැක්වෙන්නේ 2014 නව අවුරුදු උදාවත් සමගින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා පූජාසනයේ සිට සැදැහැවතුන්ට සුභ පැතූ අවස්ථාවයි. පහත ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ දිව්‍ය පූජාව අවස්ථාවේදී සැදැහැවතුන් පූපය සහ මිදි යුෂ මගින් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ ශ්‍රී ශරීරය ද ශ්‍රී රුධිරය ද, නව අවුරුද්දේ ප්‍රථම ආහාරය වශයෙන් ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ දෝතින් ලබා ගන්නා ආකාරයයි.