නරක කෙලෙස් වර්ධනය නොවන ලෙස දරුවාට ආදර්ශයක් වීමේ වගකීම මවටයි පියාටයි පැවරෙන්නේ, දරුවා මවගේ කුසය තුල සිටින විට දී මයි – ශුද්ධෝත්තම අපොස්තුළුතුමෝ පවසති
දරුවකු කුස තුල පිළිසිඳ ගෙන සිටින ඕනෑම කාන්තාවක් හඳුන්වනු ලබන්නේ මවක් වීමට සිටින කාන්තාවක් ලෙසටයි. නමුත් ඒ මතය සම්පූර්ණයෙන්ම වැරදියි. මගේ අදහස, කාන්තාවකගේ කුසය තුල, කුඩා කලලයක් ලෙසින් දරුවකු පිළිසිඳ ගත් සැනින්ම ඒ කාන්තාව මවක් වන්නට යනවා නොවෙයි, සැබවින්ම මවක් වෙනවා. ඒ දරුවාට පිතෘත්වය දෙන පිරිමියා, පියෙක් වෙන්නට යනවා නොවෙයි, සැබවින්ම පියෙක් බවට පත් වෙනවා.
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම වදන් ප්‍රකාශ කරනු ලැබුවේ 2019 ඔක්තෝම්බර් 27 වෙනි ඉරුදින සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී යි.
පුංචි දරුවෙක් කුස තුල පිළිසිඳ ගත් සැනින් ම ඒ දරුවාගේ අම්ම යි තාත්ත යි දෙන්නටම ලොකු වගකීමක් පැවරෙනවා. එනම් ඒ දරුවාව මතු යම් දවසක සමාජයේ ශිලාචාර දරුවෙකු බවට පත් කිරීමේ වගකීමයි. ඒ වගකීම අම්මා තාත්තා දෙදෙනාටම පැවරෙන්නේ, මවගේ කුස තුල දරුවා පිළිසිඳ සිටිනවිට දී මයි.
ශුද්ධෝත්තම අපොස්තුළුතුමා මෙලෙසින් වදාරණු ලැබුවේ, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී බැතිමතුන් පිරිසක් අමතමිනි. සිද්ධස්ථානයේ දායක සමාජිකයන්ගේ මාසික රැස්වීමේ දී උන්වහන්සේ මෙලෙස ප්‍රකාශ කරනු ලැබුවේ, සමාජිකයන් අතර සිටි ගැබිනි මවක් සහ නව දරු උපතේ පියාට ද සුභ පතමින් වන අතර උන්වහන්සේගේ උපදෙස් සියළු ගැබිනි මවුවරුන්ට පමණක් නොව කුස තුල සිටින නවක දරුවන්ගේ පියවරුන්ට ද අනගි උපදෙස් රැසක් ම විය.
‛‛මවකගේ කුස තුල දරුවකු පිළිසිඳ ගැනීමට කරුණු සතරක් සම්පූර්ණ විය යුතුයි. එම කරුණු සතර නම්, පළමුව මව නිසි සෞඛ්‍ය තත්වයෙන් සිටිය යුතුයි, දෙවෙනුව පියා නිසි සෞඛ්‍ය තත්වයෙන් සිටිය යුතුයි, තුන්වෙනුව නිසි කාලයේ දී මේ මව සහ පියා සම්බන්ධ විය යුතුයි, ඇත්තටම සතර වෙනුව තමයි ප්‍රධානම කටයුත්ත තිබෙන්නේ. එනම් මේ මවු පිය සම්බන්ධතාවයේ ප්‍රතිඵලය වෙත ආත්මයක් පැමිණිය යුතුයි. පළමු, දෙවන සහ තුන්වෙනි කාරණා තුන කොතරම් සාර්ථකව සිදු වුනත් සතර වෙනි කාරණය සිදු වුනේ නැත්නම්, දරුවෙකුගේ පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නේ නැහැ. ඔයගොල්ලෝ අහලා ඇති කාන්තාවගේ සෞඛ්‍ය තත්වයත් හොඳයි, පිරිමියාගේ සෞඛ්‍ය තත්වයත් හොඳයි, මූලික කාරණා තුනම හරියාකාරව සිදු වුනත් දරුවන් නොමැතිව දුක් වෙන යුවලවල් සිටිනවා. හේතුව සතර වෙනි කරුණ ඉෂ්ඨ නොවීමයි, එනම් ආත්මයක් නොපැමිණීමයි.’’ ශුද්ධෝත්තම අපොස්තුළුතුමා ප්‍රකාශ කල සේක.
දරුවන් කුස දරා සිටින සියළු මාතාවන්ට මෙන්ම එම දරුවන්ගේ පියවරුන්ට ද අවවාද රැසක් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන්ගේ ප්‍රකාශයේ දී උන්වහන්සේ මෙලෙසින්ද පවසනු ලැබූහ.
‛‛මූලික කරුණු තුනම නිසියාකාරව සිද්ධ වෙලා ඉන්පසුව ආත්මයක් පැමිණුනත්, මේ නව පිළිසිඳ ගැනීමේ අම්මයි තාත්තයි මතක තියා ගන්නට ඕනා, තමන්ට ලැබී ඇති, තවම දෑසින් නොදුටු මේ දරුවා අඩු හෝ වැඩි වශයෙන් කෙලෙස් සහිත පුද්ගලයෙක්. කෙලෙස් රහිත ආත්මයක් මේ ලෝකයට එන්නේ නැහැ. මේ දරුවා මවගේ ලෝකයෙන් මේ අපි ජීවත් වන බාහිර ලෝකයට පැමිණි පසුව ටිකින් ටික මේ කෙලෙස් වර්ධනය වෙනවා. එසේ වර්ධනය වීමෙන් තමයි මේ දරුවා ක්‍රමයෙන් කෙලෙසෙන්නේ. එමනිසා මේ දරුවාගේ නරක කෙලෙස් වර්ධනය නොවන ලෙස දරුවාට ආදර්ශයක් වීමේ වගකීම මවටයි පියාටයි පැවරෙන්නේ, දරුවා මවගේ කුසය තුල සිටින විට දී මයි.’’
‛‛මවකගේ කුසය තුල සිටින දරුවාගේ කෙලෙස් වර්ධනය නොවී, ඒ කෙලෙස් නිවී යන ලෙසින්, දරුවාගේ අම්මයි තාත්තයි දෙන්නා දරුවාට ආදර්ශයක් වෙන්නේ කොහොමද කියලා ඔයගොල්ලන්ගේ සිත තුල ගැටළුවක් ඇති වෙන්නට පුළුවන්. හොඳට අහගන්න. මතක තබා ගන්න. කුඩා දරුවා මවු කුසයේ සිටිය දීමයි ඉගෙන ගැනීමට ආරම්භ කරන්නේ. ඒ මවගෙනුයි පියාගෙනුයි. මව අසන දකින සියල්ලක් මේ කුස තුල සිටින දරුවාට දැනෙනවා. මවගේ සියළුම සිතුම් මේ දරුවාට ද බලපානවා. දරුවා කුස තුල පෝෂනය වන්නේ මව ගන්නා ආහාරයෙන් පමණක් නොවෙයි, මවගේ සෑම සිතුවිල්ලක්මත් මේ දරුවාට, මේ දරුවාගේ අනාගතයට බලපානවා. ඒ නිසාම මේ දරුවාගේ අම්මාත් තාත්තාත් දෙදෙනාම සාමයෙන් සතුටින් ජීවත් වෙන්නට ඕනා. දරුවා කුස තුල සිටිය දී කිසිදු අවස්ථාවක කුමන කරුණක් නිසාවත් අම්මාත් තාත්තාත් සණ්ඩු වෙන්නට එපා. දරුවා මෙලොවට බිහිවීමෙන් පසුවත් දරුවා ඉදිරියේ අම්මා තාත්තා සණ්ඩු දබර ඇතිකර ගන්නට එපා. දරුවා බිහි වීමෙන් පසුව අම්මාටයි තාත්තාටයි සණ්ඩු කර ගැනීමට අත්‍යාවශ්‍යම නම්, දරුවා නින්දට ගියාට පසුව සණ්ඩු කර ගන්න.’’
‛‛කුසය තුල දරුවෙක් දරා සිටින විට අම්මා නිතරම යහපත් දේ ඇතුලත් පොත පත කියවන්න. රූපවාහිනියෙන් දරුවාටත් සුදුසු දේ නරඹන්න. ඒ සඳහා දරුවාගේ තාත්තාත් හැකි සෑම විටකම සහභාගි වන්න. ධර්ම දේශනාවන්ට සවන් දෙන්න. කුසය තුල දරුවා වැඩෙන මාස තුන හතර වෙන විට තම ආදරණීය භාර්යාව හෙවත් දරුවාගේ මව ලඟින් තබාගෙන දරුවාට යහපත් දේ තාත්තා විසින් පවසන්න. තාත්තා ගෙදර නැති විට අම්මා එය කරන්න.’’
‛‛අවසාන වශයෙන් මම මගේ අත්දැකීම ඔස්සේ ඔයගොල්ලන්ට යමක් කියන්නට කැමතියි. එලොවින් මෙලොවට ඉතාමත් කෙලෙස් අඩු ආත්මයක් පැමිණීම දැන්නම් ඉතාමත් දුර්ලභයි. එලොවින් එවැනි ආත්මයක් සොයා ගැනීම ඉතාමත් දුෂ්කරයි. හේතුව ඔයගොල්ලන්ට සිතා ගන්නට පුළුවන්. මේ දුෂ්ඪ ලෝකයෙන් පිටත්ව යන ආත්මයන්මයි ආපසු හැරී එන්නේ. මේ ගැන ඔයගොල්ලෝ හොඳට කල්පනා කෙරුවොත්, ඔයගොල්ලන්ට තේරුම් ගන්නට පුළුවන්.’’
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවූ පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ දී 2019 ඔක්තෝම්බර් 27 වෙනි ඉරුදින සවස ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන් විසින් බැතිමතුන් පිරිසක් අමතනු ලැබූ අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකියි