අපේ හදවත් තුල එතුමිය කෙරෙහි ඇති ආදරය, ලැදියාව කුමන ආකාරයකට එතුමිය හිතනවා ඇත්ද?
ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ප්‍රශ්ණ කරයි
‛‛මාගේ ප්‍රේමවන්ත දරුවෙනී, අපි මරිය තුමීව ආශ්‍රය කරන්නට ඕනා එතුමිය අපේ අම්මා කියල සලකාගෙන. ඇත්තටම එතුමිය අපේ අම්මා හැටියට අපිට දුන්නේ අපේ දයාබර ජේසුස් ස්වාමින් වහන්සේයි. එතුමිය මේ ලෝකයේ දරුවන්ට ආදරය කරන්නේ මවක් හැටියට ජාති භේදයක්, ආගම් භේදයක් ඇතුව නොවෙයි. සියළුම දරුවන්ට එතුමිය ආදරෙයි. අපේ ආදරය අවංකව එතුමිය වෙතට එසවෙනවද කියන එකයි ගැටලුව. බොහෝ විට අපි බොහෝ දෙනෙකුගේ ආදරය මරිය තුමී වෙත දුව යන්නේ අපේ දුෂ්කර අවස්ථාවේදී විතරයි. අපේ දුෂ්කර අවස්ථාවෙදි විතරයි අපි මරිය තුමීට ආරාධනය කරන්නේ. අපේ දුෂ්කර අවස්ථාවෙදි විතරයි, අපිට මරිය තුමියව මතක් වෙන්නේ. අපේ දුෂ්කරතාවයක් නැති අවස්ථාවල, අපිට කිසිම පිහිටක්, අපිට කිසි ඕනකමක් නැති අවස්ථාවල අපිට මරිය තුමීව මතක් වෙන්නේ නෑ. අන්න ඒ නිසා අපේ දුෂ්කර අවස්ථා වලදී අපට සිද්ධ වෙලා තියෙනවා මරිය තුමී පස්සෙන් පන්නන්න එතුමියගෙන් පිහිට ඉල්ලන්ඩ.’’
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙලෙසින් ප්‍රකාශ කරනු ලැබුවේ 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේදීයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ තිස් වසරකට ආසන්න කාලයක් ස්ථාපිතව තිබූ දෙව් මවු ප්‍රතිමාව එම ස්ථානයෙන් වෙනත් ස්ථානයකට රැගෙන යාම සඳහා, එම ස්ථානයෙන් ප්‍රතිමාව ඉවත් කිරීමට පෙර දෙව් මවු ප්‍රතිමාව අභියස එදින පැවැත්වූ දෙව් මවුන් වෙත ජපමාල උපහාර සැඳෑ මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමාණෝ එලෙසින් ප්‍රකාශ කරනු ලැබූ සේක.
ශුද්ධවු බයිබලයේ, ජුවාම් තුමාගේ සුවිශේෂයේ දෙවන පරිච්ඡේදයේ සඳහන් කානා හි සරණ මංගල්‍ය නිවසේදී සිදුවූ ජේසුස් ස්වාමින් වහන්සේගේ ප්‍රථම ප්රාතිහාර්ය සිදුවීම පසුබිම් කරගෙන සිය දේශණය ආරම්භයේදීම ශුද්ධෝත්තම අපොස්තුළු තුමා මෙලෙස ප්‍රකාශ කල සේක. ‛‛මේ ලෝකයේ වැඩිම භාෂා ගණනකට පරිවර්තනය වී ඇති පොතේ, ඒ කියන්නේ ශුද්ධවු බයිබලයේ මරිය තුමී ගැන සඳහන් වෙනවා. ඔබ ප්‍රතිමාවකින් මේ දකින සුදෝ සුදු මරිය තුමී ගැන ඒ පොතේ සඳහන් වෙලා තියෙනවා. ඒ පොතේ ශුද්ධවු ජුවාම් අපොස්තුළු තුමා විසින් ලියා ඇති සුවිශේෂයේ දෙවෙනි පරිච්ඡේදයේ ආරම්භයේදීම මරිය තුමී ගැන සඳහන් වෙන සිද්ධිය, එතුමියගේ අති යහපත් ගුණාංගයක් අපට මතක් කරලා දෙනවා. සුවිශේෂකවරු හතරදෙනෙකුගේ ග්රන්ථයන් ශුද්ධවු බයිබලයේ තිබුනත් මේ සිද්ධිය සඳහන් කරලා තිබෙන එකම සුවිශේෂකවරයා ශුද්ධවු ජුවාම් අපොස්තුළු තුමා පමණයි.’’
විවිධ ප්‍රදේශයන්ගෙන් පැමිණ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ දෙව් මවුන්ගේ ප්‍රතිමාව ඉදිරිපිට රැස්ව සිටි සැදැහැවතුන් අමතා දේශණය පවත්වමින් ශූද්ධෝත්තම අපොස්තුළු තුමා මෙසේද ප්‍රකාශ කල සේක.
‛‛අපිට පේනවා කානාහි මනාල යුවල මේ මරිය තුමී සහ ජේසු පුතා එක්ක යම් මිත්‍රත්වයක් තිබිල තියෙනවා. යම් සමීප සුහද බවක් තිබිල තියෙනවා. ඒ නිසා තමයි ප්‍රිය දරුවෙනී, ඒ නව යුවල, මේ මවටයි, පුතාටයි මගුල් ගෙදර එන්ඩ කියලා ආරාධනා කළේ. ඒ අය මරිය තුමීගෙන්වත්, ජේසු තුමාගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වුනේ නෑ. දන්න තරමින් සාමාන්‍ය අම්මෙකුයි, පුතෙකුයි. අර තිබිච්ච මිත්‍රත්වය නිසා තමයි ආරාධනා කෙරුවේ. ඒ මිත්‍රත්වය නිසා තමයි ඒ අය මගුල් ගෙදරට සහභාගි වෙන්ඩ ගියේ. අන්න එතනදී මරිය තුමී ඔවුන්ගේ හදිසි දුෂ්කර තත්ත්වයක් දැක්කා. ඒ දුෂ්කර තත්ත්වයට පිහිටක් වෙන්ඩ ඒ දුෂ්කර තත්ත්වය ගැන ජේසු පුතාට කියන්ඩ කියලා ඒ මගුල් ගෙදර මනාල යුවල මරිය තුමීගෙන් ඉල්ලීමක් කෙරුවේ නැහැ. මරිය තුමී ඉදිරිපත් වුනේ කිසිම ඉල්ලීමක් නැතුව. මොකද මරිය තුමී දන්නවා ජේසු පුතා ගැන. තමාගේ පුතුණුවන් කවුද කියන්ඩ මරිය තුමී දන්නවා. ඒ නිසා මරිය තුමී ඉදිරිපත් වුනා. මේ තමන්ට ආරාධනය කරපු මේ මනාල යුවලට කිසියම් පිහිටක් වෙන්ඩ තම පුතුගෙන් ඉල්ලන්නට ඕන කියලා. මෙන්න මෙතනයි මාගේ ප්‍රේමවන්ත දරුවෙනී, මරිය තුමියගේ යහපත් ගුණාංගය මතු වෙන තැන. මේ ගුණාංගය තේරුම් ගත්තොත් ඒක අපිටත් අද සැන්ඳෑවේ ලොකු පාඩමක් මරිය තුමී පය ගැසූ මේ භූමියේදී ඉගෙන ගන්ඩ ලැබෙනවා. මෙන්න මේකයි, මරිය තුමිය සමග අර සරණ මංගල ගෙදර මනාල යුවල වගේ අපි සුහද සබැදියාවක්, මව් දරු සබැඳියාවක් පවත්වනවනම් අපිට මරිය තුමීගෙන් කිසි දෙයක් ඉල්ලන්ඩ ඕනනෑ. මේක මම හොඳටම දන්න දෙයක්. අපේ කිසිම දුෂ්කරතාවයක් මරිය තුමියට අපි කියන්ඩ ඕනනෑ. මරිය තුමී අපි ගැන බලා ගන්නවා. අර සරණ මංගල ගෙදර, ඒ මනාල යුවල, මරිය තුමීගෙන් ඉල්ලුවද? නමුත් ඔවුන් මරිය තුමී එක්ක කිසිම පුද්ගලීක ලාභ ප්‍රයෝජනයක් සඳහා නොව යහපත් හදවතින් මරිය තුමීවත්, ජේසු තුමාවත් ආශ්‍රය කළ නිසා, ඔවුන්ගේ සරණ මංගල ගෙදරට එන්ඩ කියලා කිව්වා. ඒ නිසයි ඒ දෙදෙනා ගියේ. මව් පුතු දෙදෙනා ගියේ. ඒ ගිය අවස්ථාවෙයි මේ දුෂ්කර තත්ත්වය දැක්කේ. තමන්ට ආරාධනය කරපු, තමන් එක්ක හොඳ හිත තියාගෙන ඉන්න, තමන්ව ළඟින්ම ආශ්‍රය කරන මේ මනාල යුවල ලොකු දුෂ්කර තත්ත්වයකට, ලොකු ඇබැද්දියකට පත් වෙන්ඩ යනවා. අන්න මරිය තුමී වහාම පියවර ගත්තා ඒ දුෂ්කර තත්ත්වයෙන්, ඒ මනාල යුවල බේරගන්න.’’
ජාති ආගම් භේදයන්ගෙන් තොරව ජනතා ප්‍රසාදය දිනාගත් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ දෙව් මවු ප්රතිවාව අභියසට එදින සන්ධ්‍යාවේ ජාති ආගම් භේදයන්ගෙන් තොරව රැස්ව සිටි සැදැහැවතුන් අමතා ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා ප්‍රකාශ කරනු ලැබුවේ, මරිය තුමී අප දෙස නිරන්තරයෙන් දෙනෙත් යොමාගෙන සිටින බවත්, අද සමහර අය ගමන් බිමන් යනකොට ජපමාලය අරගෙන යතත් සමහර අය දැන් ඒක කරන්නෙත් නැති බවයි. අද මරිය තුමියට ලැදි ඇතැම් දරුවන්ට ජපමාලය අමතක උනත් සෙල් ෆෝන් එක අමතක වෙන්නේ නැති බවත්, ඒ වගේම ජපමාලය වුනත්, සාක්කුවේ දාගෙන යන ආභරණයක් නොව, එම ජපමාලය උච්ඡාරණය කරන්නේ නැත්නම් එය වටිනාකමක් නැති නිකම් මලකඩ මාලයක් බවයි.
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා අවසාන වශයෙන් සියල්ලන්ටම ප්‍රශ්ණයක් ද යොමු කරමින් මෙසේ ද ප්‍රකාශ කල සේක. ‛‛ ප්‍රිය දරුවෙනී, මරිය තුමිය අප කෙරෙහි ඇති ආදරය අපට විශ්වාසම කල හැකි ආදරයයි. නමුත් අපි මරිය තුමියට ඇති ආදරය කොතරම් දුරට විශ්වාසවන්තද? අපේ හදවත් තුල එතුමිය කෙරෙහි ඇති ආදරය, ලැදියාව කුමන ආකාරයකට එතුමිය හිතනවා ඇත්ද? ඒ ප්රශ්නය මේ සැන්දෑවේ ඔබ පාමුල මම තබනවා.’’
මෙම ඡායාරූප මගින් ඔබට දැකගත හැක්කේ 2013 ඔක්තෝම්බර් 5 වෙනි සෙනසසුරාදා සවස කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථාන භූමියේ පැවැත්වුන ජපමාල උපහාර සැඳෑ මෙහෙයේදී ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා රැස්ව සිටි සැදැහැවතුන් අමතා දේණය පැවැත්වූ ආකාරය සහ ඊට සවන් දී සිටින සැදැහැවතුන්ය.