ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ හැටවන ජන්ම දිනය 2017 පෙබ්‍රවාරි 2 වෙනි දිනයට යෙදුන අතර, මීට වසර හැටකට පෙර උන්වහන්සේ උපත ලද වේලාව අලලා, හැට වසරකට පසු පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 11.30 ට, උපන්දින සංවත්සර මංගල දිව්‍ය පූජා මෙහෙය ශුද්ධෝත්තම අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දී ආරම්භ විය. උන්වහන්සේ මෙලොවට උපත ලැබුවේ 1957 පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ටයි.
කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනේ අපොස්තලික සොහොන් ගැබ මත, ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා සිය හැටවන උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජාව ඔප්පු කරනු ලැබූ සේක.
මතු යම් දිනයක ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා ස්වර්ගස්ථ වූ විට දී, උන්වහන්සේගේ දේහය තැන්පත් කරනු ලබන්නේ මෙම සොහොන් ගැබ තුල වන අතර, දැනට එම සොහොන් ගැබ තුල උන්වහන්සේව මෙලොවට බිහිකල මව වූ, ස්වර්ගස්ථ මාග්‍රට් අපොන්සු මැතිණියගේ දේහය තැන්පත් කර ඇත.
අනාගතයේ යම් දිනයක ප්‍රාණය නිරුද්ධ වූ පසු තම දේහය තැන්පත් කරනු ලබන, මීට හැට වසරකට පෙර තමන්ව මෙලොවට බිහිකල මවගේ දේහය දැනටමත් තැන්පත් කර ඇති, සොහොන් ගැබ මතු පිට, තමන්ගේ හැටවන උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජාව පැවැත් වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා, දිව්‍ය පූජාව අවසානයේ, සොහොන් ගැබ ඉදිරියට පැමිණ, රැස්ව සිටි බැතිමතුන් අමතා මෙලෙස ප්‍රකාශ කල සේක.
‛‛ප්‍රථමකොට, මේ රාත්‍රියේ දුරමග ගෙවාගෙන මගේ 60 වන උපන් දිනය වෙනුවෙන් පිදුනු මෙම දිව්‍ය පූජා යාගයට සහභාගි වීමට පැමිණීම ගැන ඔබ සියලු දෙනාටම මම හදවතින්ම ස්තූති කරනවා. මීට අවුරුදු 60 කට පෙර මගේ මව මෙවැනි අවස්ථාවක්, අවුරුදු 60 කට පසුව සිදුවෙයි කියලා මොහොතකටවත් හිතන්නටනම් නැතුව ඇති. අද මේ දිව්‍ය පූජාව මා පැවැත්වූයේ මාව බිහිකල මවගේ දේහය තැන්පත් කර තිබෙන සොහොන් ගැබ මතුපිටයි. මා දැන් මේ සිටගෙන ඔබව අමතන්නේ, ඔබ මේ රැඳී සිටින්නේ එතුමියගේ දේහය තැන්පත් කර තිබෙන සොහොන් ගැබ අසලයි. එතුමිය එදා හිතන්නට නැතුව ඇති, තව අවුරුදු 60 කින්, මේ දරුවා මගේ දේහය තැන්පත් කර තිබෙන සොහොන මත දිව්‍ය පූජාව අපොස්තුළු තුමෙක් හැටියට පවත්වයි කියලා. නමුත් එය අද සිදු වුනා. මේක තමයි ජීවිතය කියන්නේ. උත්පත්තියේ සහතිකයත්, මරණයේ සහතිකයත් අතර අපි ගෙවන ජීවිතය මෙන්න මේ වගේ තමයි.’’
අති උත්තම රොහාන් ලලිත් අපොන්සු ශුද්ධෝත්තම අපොස්තුළුතුමා, සිය හැටවන උපන් දින සංවත්සර මංගල දිව්‍ය පූජාව පැවැත්වීම සඳහා, කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ හරිත උයන හරහා ශුද්ධවු පේදුරු සහ පාවුළු අපොස්තුළු උයනට සැපත් වී, අපොස්තලික සොහොන් ගැබ වෙත පැමිණෙන අයුරු මෙම ඡායාරූප මගින් ඔබට දැක ගත හැකිවනු ඇත