‛‛ඔබ දෙපලව බැන්දුවේ, විවාහ කෙරෙව්වේ, එකට බද්ධ කෙරුවේ, මෙතනදිම අවුරුදු 26 කට පෙර මේ අත් දෙකෙන්, ඒ ගැන මම පුද්ගලීකව සන්තෝෂ වෙනවා. අද, අවුරුදු 26 කට පස්සේ, මම ඔබ දෙපලගේ 26 වෙනි සංවත්සර දිව්‍ය පූජාව සිද්ධ කරනවා. පොඩ්ඩක් කල්පනා කර බලන්න, මෙය හරිම අමුතු දෛවාදීන අවස්ථාවක්. දැන් මට අවුරුදු 63 ක් ඉවර වෙනවා. එතකොට ඔබ දෙපලව මං විවාහ කරලා තියෙන්නේ වයස අවුරුදු කීයෙදිද? 63 න් අඩු කරන්ඩ 26 ක්. 63 අඩු කිරීම 26. මට වයස අවුරුදු 37 දී ඔබ දෙපලව විවාහ කෙරෙව්වා. මට වයස අවුරුදු 63 දී ඔබ දෙපලගේ 26 වෙනි සංවත්සරය සමරනවා. තව සති 2 කින් මගේ අපොස්තුළුවරයේ අවුරුදු 45 ක් සමරනවා. මේ ගණන් ටික බලන්ඩ පොඩ්ඩක්. විශේෂයෙන්ම අවුරුදු 45 ක අපොස්තුළුවර ජීවිතයක් තුල ඔබ දෙපල මගේ අතින් විවාහ වෙලා අවුරුදු 26 ක් සමරනවා. එහෙමනම් ඔබ දෙපල මං ගැන මොන තරම් දේවල් දන්නවද? අවුරුදු 26 කට පෙර විවාහ වෙච්ච ඔබ දෙපල හැරී ඇවිත් තියෙනවා ආපහු මං වෙතට 26 වෙනි සංවත්සරය සමරන්න. ඔබ දෙපල මගේ අපොස්තුළුවරයට පහන් කණු දෙකක් කියලා කිව්වොත් වැරදිද? හරියට හරි. එහෙමනම් ඔබ දෙපල මගේ ජීවිත කතාවේ මොන තරම් දේවල් දන්නවද? වෙනේරියස් මහත්මයාගේ ඇස් වලට කදුළු පිරුනා. ඔහුට අතීත කතා මතක් වෙන්ඩ ඇති. මම ආපු ගමන් මග මතක් වෙන්ඩ ඇති.’’
මෙම ප්‍රකාශය කරනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමාණන් විසින්, 2020 ජනවාරි 25 වෙනි දින කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුරේ දී පුද කරනු ලැබූ දිව්‍ය පූජාවේ දේශණය පවත්වමිනුයි. මීගමුව, මුන්නක්කරයේ, වෙනේරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මිය වෙනුවෙන් මෙම දිව්‍ය පූජාව පවත්වනු ලැබූ අතර, ඊට හේතුව වූයේ ඔවුන් දෙපල සිය විවාහ දිවියේ වසර 26ක් සම්පූර්ණ කරනු ලැබීමයි.
තව දුරටත් සිය දේශණය පවත්වමින් ශුද්ධෝත්තම අපොස්තුළුතුමා පවසා සිටියේ මින් අවුරුදු විසි පහකට තිහකට පමණ ඉහත වැලිමඩ විහාරස්ථානයක දේශණයක් පැවැත්වීම සදහා උන්වහන්සේ ලද ආරාධනයකට අනුව, එම දේශණය පවත්මින් සිටි අවස්ථාවේ දී සිදු වූ අපූරු සිදුවීමක්. ඒ පිළිබදව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා විස්තර කරනු ලැබුවේ මේ අයුරින්.
‛‛දැනට අවුරුදු 25 ත්, 30 ත් අතර කාලයකට පෙර, ඒ කියන්නේ ඔබ දෙපල විවාහ වෙච්ච කාලෙම වැලිමඩ පැත්තේ විහාරස්ථානයක නායක හාමුදුරුනම මට ආරාධනයක් කෙරුවා එම විහාරස්ථානයට ඇවිල්ලා, ‛ඔබවහන්සේ අපේ පන්සලේ දේශනයක් කරන්ඩ’ කියලා. මම හුගාක් හදුනන භික්ෂුන් වහන්සේ නමක් මාර්ගයෙන් තමයි, වැලිමඩ ඒ විහාරස්ථානයේ නායක හාමුදුරුවෝ මේ ආරාධනය කළේ. මේ ආරාධනය මම පිළිගත්තා. පිළිඅරගෙන මම ඒ විහාරස්ථානයට ගියා දේශනයක් පවත්වන්න. ඒ ගිය වෙලාවේ දහස් ගාණක් මිනිස්සු රැස් වෙලා හිටියා. මොකද ඒගොල්ලන්ට දැන් මේක අරුම පුදුම වැඩක්නේ. දැනට අවුරුදු 25 කටත් ඉහත කාලයකට පෙර. පන්සලේ ශාලාවේ, ඒ කියන්නේ බණ ශාලාවේ කිසීම ඇගිල්ලක් ඇතුළු කරන්න බැරි වෙන විදිහට සෙනග හිටියා. එළියෙත් හිටියා. ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරලා තිබුනා. මොකද මේ පිළිබදව ප්‍රචාරය වෙලා තිබුනා හුගක් තදින්. ඒ නිසා නායක හාමුදුරුවෝ හිතලා තියෙනවා විශාල පිරිසක් ඒවි කියලා. ඒ නිසා තමයි මෙහෙම ශබ්ද විකාශන යන්ත්‍ර සවි කරලා තිබුනේ. වෙනත් විහාරස්ථානවල භික්ෂූන් වහන්සේලත් සෑහෙන පිරිසක් ඇවිල්ලා හිටියා. මට වඩා හුගාක් වයසින් වැඩි අය හිටියා. මට වඩා වයසින් අඩු අය හිටියා. විවිධ මට්ටමේ අය හිටියා. එතකොට හැම දෙනෙක්ම මේ බලාපොරොත්තුව ඉන්නේ මම කුමක්ද කියන්නේ කියලා දැනගන්න. මේ ගැන කියන්න බොහෝම විස්තර තියනවා. නමුත් මේ අවස්ථාවේ, මේ විවාහ ජීවිතයක 26 වෙනි සංවත්සරය සමරන මේ මොහොතේ කියන්ඩ දෙයක් මට එතනින් තියෙනවා.’’
‛‛මම පැය දෙකකට වැඩි කාලයක් මගේ දේශනය කළා. දේශනය අවසානයේ, රැස් වෙලා හිටපු පිරිසගෙන් මම ඇහැව්වා, ‛‛ඔයගොල්ලන්ට මගෙන් අහන්ඩ ප්‍රශ්න තියෙනවනම් අහන්ඩ’’ කියලා. ටිකක් වෙලා ගියා, වෙලා ගිහිල්ලා එක එක්කෙනා නැගිට නැගිට නොයෙකුත් නොයෙකුත් ප්‍රශ්න ඇහැව්වා. භික්ෂූන් වහන්සේලාත් ප්‍රශ්න ඇහැව්වා. පැය 2 කට වැඩි ප්‍රමාණයක් ප්‍රශ්න වලට උත්තර දෙන්ඩ සිද්ධ වුනා. දැන් පැය හතරකුත් ගිහිල්ලා. එළියේ රැස් වෙලා හිටපු අයගෙනුත් සමහර අය ඇතුලට ඇවිල්ලා ප්‍රශ්න ඇහැව්වා. ඉතාමත්ම ඉහල මට්ටමේ ප්‍රශ්න ඇහැව්වා. මගෙන් අසන්න ප්‍රශ්න නැති තත්ත්වයක්ම ආපුවම, අන්තිමේට මම කිව්වා දැන් ඔයගොල්ලෝ මෙච්චර වෙලා මගෙන් ප්‍රශ්න ඇහැව්වා, දැන් මටත් අවසර දෙන්ඩ ප්‍රශ්නයක් අහන්ඩ ඔයගොල්ලන්ගෙන්. රැස් වෙලා හිටපු කට්ටිය විමතියෙන් මා දිහා බලාගෙන හිටියා. සමහර භික්ෂූන් වහන්සේලාට හිනත් ගියා ඒ මම ඒක කිව්ව විලාසයට. දැන් මගේ ප්‍රශ්නය නගන්ඩ අවස්ථාව. මම ඇහැව්ව ප්‍රශ්ණය මෙන්න මේකයි. ඔයගොල්ලෝ අතරින් විවාහ වෙච්ච අය මෙතන ගොඩක් ඇති. මේ ඉන්න ජනකායේ හැටියට විවාහ වෙච්ච අය ගොඩක් ඉන්න ඕනා. මේ විවාහ වෙච්ච අයගෙන් කවුද ප්‍රාර්ථනා කරන්නේ මගේ මීළග ආත්මයේ දී, ඒ කියන්නේ මම නැවත ඉපදුනහම, මගේ මේ ඉන්න ස්වාමිපුරුෂයාම, මගේ මේ ඉන්න බිරිදම මට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ කවුද? සමහර අය වම් පැත්ත බැලුවා, සමහර අය දකුණු පැත්ත බැලුවා, ඉදලා හිටලා සමහර අය පිටිපස්ස හැරිලා බැලුවා. එහෙම ප්‍රාර්ථනා කරන කෙනෙක් ඉන්නවනම් අත උස්සන්ඩ කියලා කිව්වා. කිසිම කෙනෙක් අත ඉස්සුවේ නෑ. එතන හිටපු බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් නැගිටලා කිව්වා, ‛‛මේ පියතුමා කිව්ව ප්‍රශ්නය ඔයගොල්ලන්ට තේරුනාද?’’ කියලා, උන්වහන්සේත් නැවතත් මගේ ප්‍රශ්ණය ඒ අයට තේරුම් කෙරුවා. ‛‛මේ ඇහැව්වෙ මෙන්න මේකයි, ප්‍රාර්ථනා කරනවනම් අත උස්සන්ඩ’’. ඒත් හරි ගියෙ නෑ. කවුරුවත් අත ඉස්සුවේ නෑ. ඊට පස්සේ මම ඇහැව්වා, මෙතන ඉන්න විවාහ වෙච්ච අයගෙන්, මගේ මේ ස්වාමිපුරුෂයාම, මගේ මේ බිරිදම, මට ඊලග ආත්මේදීත් නොලැබේවා කියලා ප්‍රාර්ථනා කරන අය කවුද ඉන්නේ ඒගොල්ලෝ අත උස්සන්න කිව්වා’’. ඒත් නෑ. ලැබේවා කියලා අත උස්සන්නෙත් නෑ. නොලැබේවා කියලා අත උස්සන්නෙත් නෑ. ඊට පස්සේ මම ඇහැව්වා, ‛‛විවාහ වෙලා ඉන්න අය අතරෙන් මට ආයෙත් විවාහ ජීවිතයක් එපා කියලා කියන අය එහෙමනම් අත උස්සන්න’’ කියලා. ඒකටත් කවුරුවත් අත ඉස්සුවේ නෑ. පස්සේ තවත් භික්ෂූන් වහන්සේ නමක් නැගිටලා, මේ ප්‍රශ්න තුනම ආයිත් මේ කට්ටියට පැහැදිලි කෙරුවා. කිසිම ප්‍රතිචාරයක් ලැබුනේ නෑ. මම ඇහැව්වා එතකොට කවුරුවත් දැන් ඉන්න ස්වාමිපුරුෂයව බිරිඳව ප්‍රාර්ථනා කරන්නෙත් නෑ, ප්‍රාර්ථනාත් කරනවා, විවාහ ජීවිතයක් එපාද කියන එකට පිළිතුරකුත් නැහැ.’’
‛‛මෙන්න එතකොට, මහළු කාන්තාවක් නැගිට්ටා. මට ටිකක් බයත් හිතුනා මට බනින්නද දන්නෙත් නෑ කියලා. නැගිටලා කිව්වා. පියතුමෙනි, ඔබවහන්සේගේ ප්‍රශ්නය මටනම් හොදටම තේරුනා. මම මගේ ස්වාමිපුරුෂයාව නම් ආයෙත් පතන්නේ නෑ. මට එයාව ආයෙත් එපා. මම ඇහැව්වා, ඔබ විවාහ වෙලා දැන් අවුරුදු කොච්චරක්ද? ටිකක් කල්පනා කරලා කිව්වා, ‛‛දැන් අවුරුදු 40 ක් විතර ඇති.’’ මම ඇසුවා, ඔබ දෙදෙනා වෙන්වෙලාද ඉන්නේ. ‛‛නෑ, අපි දෙන්නා එක වහලෙ යට ඉන්නේ. මගේ යුතුකම් මම සියල්ල අදටත් ඉටු කරනවා. කන්ඩ උයලා දෙනවා, ලෙඩ දුකේදි බලාගන්නවා, මේ සියල්ලක් මම කරනවා. ඒ වුනත් එයාව මට එපා. ආයේ මම උපදින කිසිම ආත්මෙක එයාව මට හමු නොවේවා කියලා මම දිනපතා රෑට ප්‍රාර්ථනා කරනවා.’’ ඒ මහළු කාන්තාව උත්තර දුන්නා. එතකොටම අනිත් පැත්තෙන් නැගිට්ටා පිරිමියෙක්. නැගිටලා කිව්වා, ‛‛පියතුමෙනි, ඇගේ ස්වාමිපුරුෂයයි මම. මගෙත් ප්‍රාර්ථනය ඒකමයි. ඇය එහෙම කිව්ව නිසා මම මෙහෙම කියනවා නෙමෙයි, මම කිසිම දිනක නැවත ඇයව දකින්ඩවත් ප්‍රාර්ථනා කරන්නේ නෑ. අපි දෙන්නා ගේ ඇතුලේ අපේ පාඩුවේ ජීවත් වෙනවා. මගේ යුතුකම් ද මම සියල්ල ඉෂ්ඨ කරනවා. ගෙදරට අවශ්‍ය කෑම බීම, එළවළුද, පලතුරුද මේ සියල්ලක් ගෙනත් දෙනවා. අපේ දරුවන්ට ලැජ්ජාවක් නොවන පිණිස අපි ඒ විදිහට ජීවත් වෙනවා. කවුරුවත් මේක දන්නේ නෑ. පන්සලේ හාමුදුරුවොවත් මේක දන්නෙ නෑ. ඔබවහන්සේ කරපු දේශනය නිසාත්, අහපු ප්‍රශ්නය නිසාත්, මේ ටික මට කියන්න හිතුනා. මම ඇහැව්වා ඔබ දෙපල විවාහ උනේ කවදා ද? ඒ ප්‍රශ්ණයට අර නැගිටලා හිටපු ඒ භාර්යාව ඒ මහළු කාන්තාව පිළිතුරු දුන්නා, ‛‛අනේ පියාණෙනි, දිනේනම් මතකත් නෑ, මතක තියාගෙන ඇති වැඩකුත් නෑ.’’
1994 ජනවාරි 27 වෙනි දින වෙනීරියස් සහ සෙල්වින් යුවල විවාහ දිවියට ඇතුලත් වූයේ කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පැරණි දර්ශණ දෙව්මැදුරේදීයි. එදින විවාහ මංගල දිව්‍ය පූජාව ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමන් විසින් පවත්වනු ලැබූ අතර, 2020 ජනවාරි 27 වෙනි දිනයට ඔවුන්ගේ විවාහ දිවියට විසිහය වසරක් සම්පූර්ණ වීම නිමිත්තෙන් තුති පිදීමේ දිව්‍ය පූජාව 2020 ජනවාරි 25 වෙනි දින සිදු කරනු ලැබූ අතර, විසි හය වසරක් ඇවෑමෙන් තුති පිදීමේ මංගල පූජාව ශුද්ධෝත්තම අපොස්තුළු තුමන් විසින්ම සිදු කිරීම විශේෂත්වයක්.
තවදුරටත් දිව්‍ය පූජා මෙහෙයේ දේශණය පවත්වමින් ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමා මෙම යුවල අමතා මෙලෙසින් ද පවසනු ලැබුවා.
‛‛වෙනේරියස්, සෙල්වින් ප්‍රිය දරුවෙනි, මේ ආකාරයේ ජීවිත ගොඩාක් තියෙනවා. මෙවැනි යුවලවල් ගොඩාක් මේ ලෝකයේ ඉන්නවා. මෙතන උනත් මේ ප්‍රශ්නය මම ඇහැව්වොත්, මම දන්නවා, අර දෙදෙනාගේ උත්තරවලට සමාන උත්තර ලැබෙනවා. මම ඒක හොදටම දන්නවා. සියයට ලක්ෂ වාරයක් මට විශ්වාසයි, මම ඒක දන්නවා. ඔබේ සමහර අයගේ සිත දැන් කතා කරනවානේ. මේ විවාහය කියන්නේ මහ පුදුම දෙයක්.’’
මීගමුව, මුන්නක්කරයේ, වෙනේරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මියගේ විවාහ ජීවිතයේ 26 වෙනි සංවත්සරය සමරා කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ දර්ශණ දෙව්මැදුර තුල, 2020 ජනවාරි 25 වෙනි දින ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළුතුමන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලැබූ තුති පිදීමේ දිව්‍ය පූජා මෙහෙයේ දී, ශුද්ධෝත්තම අපොස්තුළුතුමන් සිය දේශණය පවත්වනු ලැබූ අවස්ථාවත් වෙනේරියස් ප්‍රනාන්දු මහතා සහ සෙල්වින් ප්‍රනාන්දු මහත්මිය සමගින් ඔවුන්ගේ දරු තිදෙනා විටෙක සිනහ සෙමින් ද, තවත් විටෙක කදුළු සලමින් ද දේශණයට සවන් දුන් අන්දමත් මෙහි ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි