‛‛අසරණව සමාජයෙන් කොන්වී සිටින මනුෂ්‍යයෙක් පීඩාවට පත්කිරීමෙන් අපි යළිත් වතාවක් ජේසු සමිඳුන්ව අසරණ කර, පීඩාවට පත්කර, සමාජයෙන් කොන් කරනවා. අසරණයන් සහ සමාජයෙන් කොන්වූවන් තුලින් අපි ජේසු සමිඳුන්ගේ ශ්‍රී මුහුණ දැකිය යුතුයි. ජේසුස් ස්වාමින් වහන්සේවත් එදා මිනිස්සු අසරණ කර පීඩාවට පත් කලා. ඒ නිසා කිසිදු ක්‍රිස්තියාණිකාරයෙකුට හැකියාවක් නැහැ, අසරණව පීඩාවට පත්වූවෙකුට පිහිට නොවී ඉන්න. අසරණකම නිසා පීඩාවට පත්වී සමාජයෙන් කොන් වී සිටින්නන්ට පිහිට වීමට කැමති නම්, ඒ පුද්ගලයාගේ ආගම, ජාතිය ගැන බලන්න එපා. ඔහුගේ අසරණකම ගැන පමණක් සිතන්න.

 

අසරණව සමාජයෙන් කොන්වී සිටින මනුෂයෙකුව නොසලකා හැරීමෙන් ඔහුව ඔබ පීඩනයට පත්කරනවානම් එය ඔබ කරන පාපයක් බව මතක තබා ගන්න. ඔබ පවු කරන්න කැමති නම්, අසරණව සමාජයෙන් කොන්වී සිටින මනුෂ්‍යයන්ට සලකන්න එපා. නමුත් ඔබ කරන පාපය අනිවාර්‍යයෙන් ආපසු ඔබ වෙත පැමිණෙන බවත් මතක තබා ගන්න.

 

ඔබ කරන කිසිදු පාපයකට වන්දි නොගෙවා මග හැර සිටින්නට ඔබට හැකියාවක් නැහැ.’’

 

ඉහත සඳහන් ප්‍රකාශය කරනු ලැබුවේ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා විසිනුයි. උන්වහන්සේ මේ ප්‍රකාශය කරනු ලැබුවේ සිය 58 වෙනි ජන්ම දිනය යෙදුන 2015 පෙබ්‍රවාරි 2 වෙනි දින නුවරඑළියේ දී, දිවා භෝජනය අවසානයේදී යි.

 

ජේසුස් ස්වාමින් වහන්සේ මෙලොවට දර්ශණය වී තෝරා පත්කරනු ලැබූ දෙවන අපොස්තුළු තුමා වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා දැනට ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වේ.

 

මීට වසර 58කට ප්‍රථම පෙබ්‍රවාරි 1 වෙනි දින හරියටම මධ්‍යම රාත්‍රී 12 ට මීගමුවේ පුද්ගලීක රෝහලක දී මෙලොවට උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ දෙමාපියන් වූයේ, ප්‍රදේශයේ ධනවත් ව්‍යාපාරිකයන් වූ ජී. සී. අපොන්සු මැතිතුමා සහ එම මැතිණියයි.

 

උපතින්ම විශාල ධනයකට උරුමකම් ඇතිව උපත ලද ශුද්ධෝත්තම අපොස්තුළු තුමා අදටත් සිය පුද්ගලීක නඩත්තුව සඳහා බැතිමතුන්ගේ පක්‍ෂුරු පාවිච්චි නොකරයි. එපමණක් ද නොව කටුනායක අප ස්වාමිදූගේ සිද්ධස්ථානයේ පොදු කටයුතු සඳහා ද උන්වහන්සේ සිය පුද්ගලීක මුදල් යොදවනු ලබයි.

 

සිය පුද්ගලීක ධන පරිත්‍යාගයෙන් නිරතුරුව අසරණ වූවන්ට පිහිට වන ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා, උන්වහන්සේගේ 58 වෙනි ජන්ම දිනය යෙදුන පසුගිය පෙබ්‍රවාරි 2 වෙනි දින ද දුගී දුප්පතුන් රැසකට සිය පුද්ගලීක ධනය වැය කර ඇඳුම් පැළඳුම් බෙදා දුන්හ.

 

මෙවර විශේෂත්වය වූයේ, කලින් දැනුම් දීමකින් තොරව මහ පාරවල් අද්දර සිට පිහිටක් ඉල්ලමින් සිටින අසරණයන් සොය සොයා, තැනින් තැන සිය මෝටර් රථයෙන් බසිමින්, විටෙක පාරවල්වල ඇවිදිමින් උන්වහන්සේ මේ කාර්‍යයේ නිරත වීමයි.

 

සිය 58 වෙනි ජන්ම දිනය යෙදුන පෙබ්‍රවාරි 2 වෙනි දිනය මෙවර විවේකීව, නුවරඑළියේ ගත කරන බව උන්වහන්සේ කලින් ප්‍රකාශ කර තිබුන නිසා, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සමීපතම සහයකයින් ඒ සඳහා සියළු ම දේ ඉතා උපරිමයෙන්ම සංවිධානය කර තිබුණි.

 

හරියටම උත්පත්තිය සිදුවූ පෙබ්‍රවාරි 1 වෙනි දින රාත්‍රී 12 සිහිකරමින්, නුවරඑළිය බංගලාවේදී එම මොහොත සැමරීම සඳහා ද ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ගේ සමීපතම සහයකයින් උපරිම අයුරින් සූදානම් කර තිබුණ අතර, උන්වහන්සේද මැදියම් රැයේ උපන් දින ආසිරි ගී මැද සතුටින් ඒ සියල්ලටම සහභාගි විය.

 

එහෙත් පසුදා (පෙබ්‍රවාරි 2 වෙනිදා) උදෙන්ම උන්වහන්සේ සිය සහයක නිලධාරීන් ද සමගින් නුවරඑළියේ මාර්ග ඔස්සේ අසරණයන් සොයා ඇවිදින්නට විය. දැඩි අවු රශ්මියක් තිබුණ ද, නුවරඑළියේ ශීතල දේශගුණය, ශුද්ධෝත්තම අපොස්තුළු තුමන්ට සහනයක් විය.

 

එදින විවේකීව ගත කිරීමට ශුද්ධෝත්තම අපොස්තුළු තුමා බලාපොරොත්තුව සිටිය ද මේ සියළු කටයුතු නිමවා, උපන් දින දා දිවා භෝජනයට වාඩි වූයේද සවස 4 ට පමණය.

 

අද ලොව ජීවත්වන එකම අපොස්තුළු තුමා වූ ශුද්ධෝත්තම රොහාන් ලලිත් අපොන්සු අපොස්තුළු තුමා සිය 58 වෙනි ජන්ම දිනය යෙදුන 2015 පෙබ්‍රවාරි 2 වෙනි දින, නුවරඑළිය මාවත්වල ඇවිදිමින් අසරණ වූවන් වෙත ඇඳුම් පැළඳුම් බෙදා දෙමින් ද, ඔවුන්ගේ නැති බැරි අසරණකම් ගැන විමසමින් ද කාලය ගත කල අයුරු ඡායාරූප මගින් ඔබට දැකගත හැකියි.